Sunday, August 4, 2024

My Red Comrade and the Man of Culture

 


The definition found in the internet for 'Man of Culture' refers to someone who appreciates things considered refined, classic, or niche, especially in areas like art, music, movies, or anime. It's about shared enjoyment and understanding, not about trying to impress someone.

During one of our regular conversations on such subjects’ years ago, eminent filmmaker Dharmasena Pathiraja spoke about the 'man of culture' in the middle-class society of Colombo in the 60s & 70’s. He went on to say that they professed a deep appreciation of theatre and drama staged at Lional Wendt, enjoyed dining out and often had a painting by George Keyt displayed in their lounge room. Pathi claimed that unlike in socialist societies country’s common man is deprived of such 'luxuries' enjoyed by those considered to be the privileged. Interestingly though he pointed out that the said privileged group is rapidly being marginalised within the free economy that emerged in the late 80's making way for a Nouveau riche class who lacked said social values.

A lot is being said about the values of a 'society of culture' in recent times in Sri Lankan political arena, particularly among those campaigning to establish one when they come to power. 'Sanskruthika Minisa' (Man of Culture) has become a slogan on those platforms.

Ironically a present-day filmmaker brings this very topic for wider discussion cinematically in his most recent work called 'My Red Comrade'

Sudath Mahadiwulwewa's effort aims to arouse awareness for the need to awaken the leftist movements from the traditional dreams that they are deeply caught up in and to make them focus on addressing contemporary issues. He does this brilliantly through a somewhat weird encounter between  two strange characters, an ageing activist and a young woman who sneaks into his small shanty seeking refuge in the middle of a stormy night. His portrayal of the two characters juxtaposed in the tiny shanty, playing extraordinarily with light and sound, is fascinating. Throughout the equally weird relationship that develops between the two, the filmmaker unfolds the story of the tragic and failed past of the country's traditional leftist movements and those who sacrificed their lives for the same.

In the end the spectator is given the nudge where the girl, an activist herself, lights up a candle into the darkness that her revolutionist host, whom she calls My Red Comrade, who operates under cover and those many others out there fighting for a common cause are drenched in.

Having fearlessly and cleverly confronted the criminals set off by the state authorities to hunt her rescuer (from a similar terrifying situation she underwent earlier in the night), she says to the audience, 'I have done my bit and it's your turn now!'

Thursday, July 4, 2024

පැරඩයිස් | PARADISE

 



ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී හා ප්‍රශ්ණ කිරීමේදී අනුගමනය කරන මෘදු ක්‍රියා පටිපාටිය ගැන කතා බහක යෙදුනු අවස්ථාවක වික්ටෝරියානු  පොලීසියේ සේවයේ නියුතුව සිටි  ශ්‍රී ලාංකික පොලිස් පරීක්ෂකවරයෙකු පැවසූ දෙයක් මාගේ මතකයට නැගේ. තම රැකියාවට බැඳුනු මුල් අවධියේ ඔවුන් අනුගමනය කරන මෘදු ක්‍රියා පටිපාටිය නිසා අපරාධ කරුවන් කොටුකර ගැනීමේදී සිදුවූ අසීරුතාවය ගැන අපැහැදුනු අප මිත්‍රයා ඔවුන් හට පවසා සිටියේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවල අනුගමනය කරන නොයෙක් අකාරයේ වැඩ පිළිවෙලවල් පිළිබඳවය.  ඒ අසා ඔහුගේ පොලිස් මිතුරන් විශ්මයයට පත්වූ බව ඔහු පැවසීය. අප බොහෝ දෙනා එවන් වැඩ පිළිවෙලවල් ගැන අසා ඇති වුවත් එම මතකයන් නැවත සිහිපත් වූයේ මෑතක දී සිඩ්නි චිත්‍රපට උළෙලේ  ප්‍රදර්ශණය කරන ලද ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය  කරන ලද  පැරඩයිස් චිත්‍රපටය නැරඹීමෙන් පසුවය.

තරුණ ඉන්දියානු සංචාරක යුවලකට අයත් වටිනා ඉලෙක්ට්‍රොනික සංනිවේදන මෙවලම් සොරාගැනීම පිලිබඳ කළ පැමිණිල්ල විභාග කිරීම සඳහා සාජන් බණ්ඩා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඔවුන් නැවතී සිටි හෝටලයට පැමිණෙති. සාජන් බණ්ඩා මුලින් ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුවද තරුණයාට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා බලපෑම් කල හැකි බව දැනගැනීමෙන් පසු  ක්‍රියාත්මක වෙමින් ඉහතකී ලෙස සැකකරුවන් යයි අනුමාන කරන කිහිප දෙනෙක් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන එනු ලබති. පොලීසියේදී ඔවුන් හට නොයෙක් අකාරයේ මානුෂික හිංසාවනට මුහුණ දීමට සිදුවන්නේය. ඒ හේතුව නිසාදෝ ඔවුන්ගෙන් එක් අයෙකු වරද පිළිගත් බව සාජන් බණ්ඩා ප්‍රකාශ කොට සිටියත්  සොරා ගත් භාණ්ඩ සොයා ගැනීම වෙනුවට සංචාරක යුවලට මහත්වූ  අකරතැබ්බයනට මුහුණ පෑමට සිදු වන්නේය. පුද්ගල වටිනාකම එක් ඡන්දයකට පමණක් ලඝු කරන පොලිස් නිලධාරීන් උද්ගතවූ ඛේධවාචකය  තුට්ටුවකට මායිම් නොකර හෝටල් සේවකයන් දෙදෙනාවද සොරකමට හසු කරගැනීමට දරන ප්‍රයත්නය වඩාත් ඛේධනීය ලෙස අවසන් වෙයි  .
ප්‍රසන්න විතානගේ ගේ කෘතහස්ත සිනමා භාවිතය ඔප කරමින් ඉන්දියානු ශිල්පීන් යොදාගෙන සිනමානුරූපීව නිර්මාණය කොට ඇති මෙම චිත්‍රපටියේ  කැමරාකරණය හා පසුබිම්  සංගීතය ආදීයේ කැපිපෙනෙන නැවුම් බවක්‌  දකින්නට ලැබෙන අතර එකිනෙකා සමග භාෂා කිහිපයකින් සංවාදයේ යෙදෙන සංස්කෘතිමය වශයෙන් සමානකම් ඇති දෙරටක පුද්ගල සබඳතාවයන් මනාව  ගොඩ නගා ඇත.

මානුෂික හිංසනය පිලිබඳ කරුණුවලදී  සංවේදී තැනැත්තියක් වූ චිත්‍රපටය නැරඹු අප මිතුරිය පැවසුවේ මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන ඕස්ට්‍රේලියාවේ ඈත ප්‍රදේශ වල ජීවත්වන ආදිවාසීන් ගේ ඉරණමද මෙයට අසමාන නොවන බවයි. එම අදහස  කලින් සඳහන් කල වික්ටෝරියානු පොලීසියේ  මිතුරා ලැබූ  අත්දැකීමට අනුව ඉදිරිපත් කල අදහසට  සපුරා වෙනස් වුවකි. දුර්වලයා මර්ධනය කිරීමේ දී අනුගමනය කෙරෙන මෙවන් අසාධාරනකම් වලට මුහුණ දීමට සිදුවීම දියුණු නොදියුණු සෑම රටකටම පොදු කාරණයක්  නොවේද ?

Tuesday, July 2, 2024

නාලන්දාවෙන් බිහිවූ සුවිශේෂ ක්‍රිකට් තරුව අනුර ද සිල්වා

 


දහවල් එකහමාර වනතුරු නොඉවසිල්ලෙන් සිටි අප දවසේ නිමාව සනිටුහන් කරන අවසාන සීනු හඬත්  සමග පහ වසර පන්ති පේලිය පුරා රැවු දුන් යෝ වදතං පවරෝ මනුජේසු  ගාථාව උඩින් පල්ලෙන් ගයා හමාර කොට, එකල අපගේ පාසල් බෑගය වූ කුඩා සූට් කේසය අතැඟිලි වල රුවාගෙන පිට්ටනිය වෙත ඉගිලුනෙමු. පුරුද්දක් ලෙස සෑම පාසල් දිනකම පාහේ විවේක කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කල අප විකට්ටුව ලෙස යොදා ගත්තේද මෙම සුට් කේසයයි.

ක්‍රිකට් තරඟය ඇරඹී ඇත , නාලන්දා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම පටන්ගෙන  ඇති බව පෙනෙන්නට විය ' තඩ්  ', ' තඩ් ' පන්දුව හා පිත්ත ගැටෙන හඬ ද ඒ හා මුසු වූ අත්පොලසන් හඬද පිටිය සිසාරා ඇසෙන්නට විය. ලකුණු පුවරුවේ නාලන්දා නම ඉදිරියෙන් දිස් වූ 99/1 105/1 ලෙස සටහන් වෙමින් තිබුනද නැවත නැගුනු ඔල්වරසන් හඬ කියා පෑවේ තවත් ලකුණු 6ක් එයට එක්  විය යුතු බව යි. එකල ලකුණු පුවරුවේ ලකුණු සටහන් කලේ පුවරුව පිටුපස සිටින අයෙක් විවෘත කවුළු හරහා ඉදිරිපසට පෙනෙන ආකාරයට නොම්මර තහඩු එල්ලමිනි. පිටිය වටා වූ ප්‍රේක්ෂකයන් අතරින් රිංගා ගිය අප සූට් කේසය බිම තබා එයමත හිඳ ගත්තා පමණකි තවත්  'තඩ්' හඬක් සමගින් අපට ඉහලින් ඉගිල ගිය පන්දුව තක්ෂිලා ගොඩනැගිල්ල ඉදිරියේ පතිත වු  ආකාරය තවමත් මතකයේ ඇත. තවත් ලකුණු 6ක්! , මෙසේ ඉවක් බවක් නැතිව පන්දුවට පහරදෙමින් සිටියේ අන් කිසිවෙක් නොව එවකට පාසල් මට්ටමේ දක්ෂතම පිතිකරුවා ලෙස ප්‍රකටව සිටි නාලන්දා නායක අනුර ද සිල්වා බව දැනගැනීමට කුඩා අපට තවත් සාක්ෂි අවශ්‍ය නොවිණි.

මෙම සුවිශේෂ පිති හරඹය විශේෂයෙන් 1967-68,  ක්‍රිකට් තරඟ වාර වල නාලන්ද ක්‍රීඩා පිටියේ මෙන්ම අප පාසැල අනෙක් පාසල් හා තරඟයේ යෙදුනු අනෙක් පාසැල් ක්‍රීඩා පිටි වල ද දක්නට ලැබුණු සුලබ දසුනක් විය. යම් හෙයකින් අනුර අඩු ලකුණු ගණනකට දැවී ගියහොත් පිටිය වටා සිටි නරඹන්නන් රංචු පිටින් ක්‍රීඩා පිටියෙන් පිටව ගිය බවද නොරහසකි.

මේ සටහන ලියන්නට සිතුනේ පසු ගිය දිනක අන්තර්ජාලයේ දකින්නට ලැබුණු නාලන්දාවේ දීප්තිමත් ආදිශිෂ්‍ය හා ක්‍රීඩා භාර ආචාර්ය වරයෙකු මෙන්ම විශ්ෂ්ඨ ක්‍රීඩා විචාරකයෙකුද  වූ ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් කරන ලද සම්මුඛ සාකච්චාවකදී අනුර ද සිල්වා පිළිබඳව කල සඳහනක් කියවීමට ලැබුණු පසුව යි. එතුමා අනුර ගැන මෙසේ කියා තිබුණි,

"අනුරට පුදුම හැකියාවක් තිබුනා ලකුණු ලබා ගන්න, නමුත් මිනිහ ටිකක් දඩබ්බරයි. පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහත්තය තමා ඔහුව සොයාගෙන තිබුනේ, ඔහු මට කිව්වා අනුර ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න ටිකක් අමාරුකාරයා කියල. අපේ පළමුවන මැච් එක තිබුනේ , සෙන්ට් ඇන්තනීස්  කොලේජ් එකත් එක්ක නුවරදි, ඉතින් අපි ගියා නුවර, මම කණ්ඩායමට කියල තිබුනා තරඟයට කලින් දවස නිසා රාත්‍රී කෑම වෙලාවට අරගෙන කලින් නින්දට යන්න කියල. නමුත් කෑමෙන් පස්සේ  බලනකොට අනුර හිටියේ නෑ , එයා ආපහු  අවේ රෑ 12ට විතර. මම එක වරම ඔහුට කිව්වා තමුසෙට මම හෙට ක්‍රීඩා කරන්න දෙන්නේ නෑ කියල, ඉතින් මේ ගැන එවකට අපගේ විදුහල්පති, ලංකාවේ සිටිය ශ්‍රේෂ්තඨතම  විදුහපතිතුමෙකු වූ ගුණපාල වික්‍රමරත්න මහතාට දුරකථනයෙන් දන්වා සිටියා , නමුත් ඒ වෙලාවේ එතුමා කියා සිටියා එහෙම කරන්න එපා ඔහුට ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න කියා. විශ්වාශ කරන්න පහුවදා  තරඟයේදී  අනුර ලකුණු 132 ලබා ගත්තා.  ඒ විතරක් නෙවේ 100 ඉඳල 132 ගැහැව්වේ 4 පහර 8 කින් . නොයෙක් ආකාරයේ ලස්සන පහරවල් පිටිය වටේටම  ඔහු එල්ල කළා."

මා නැරඹු පළමු ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරඟය වුනේ 1968 ඕවල් ක්‍රීඩා පිටියේ අප පාසල් දෙක අතර පැවැත්වුණු පැවැත්වුණු 38 වන තරඟයයි . ආනන්දය වෙනුවෙන් පසුකලෙක ජාතික තලයේ ක්‍රීඩා කල  ක්‍රීඩකයන් වූ සුනිල් සහ මිත්‍ර වෙත්තමුණි දෙසොයුරන් මෙන්ම සංජීව සේනානායක වැන්නෝ  එම තරඟයට ක්‍රීඩා කළ බව මගේ මතකයේ ඇත. එම වසරේ දෙවන වරටත් නාලන්දාවේ නායකත්වය දැරුවේ අපගේ කතා නායකය වූ අනුර ද සිල්වා යි. වසර මුලදී එල් එස් දූල්වල නාලන්දයේ නායකත්වය දැරූ නමුත් ඔහුගේ අසාර්ථකත්වය නිසා අනුරට නැවත වරක් නායකත්වය ලබා දී තිබුණු අතර ඔහු යටතේ  නාලන්දාවට එම වසරේ හොඳම පාසල් කණ්ඩායම ලෙස තේරී පත් වන්නට හැකි වුණා. මීට පෙර 1967 දී පැවැත්වුණු මහා තරඟයේදී අනුර වාර්තාගත ලකුණු 99 ලබාගෙන තිබුනා.

මුලින්ම ලකුණු රැස්වීම ඇරඹු ආනන්දයේ මුල් පිතිකරුවා වුයේ අන් කිසිවෙක් නොව සුනිල් වෙත්තමුණිය, පසුකලෙක ශ්‍රීලංකාවේ  ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී  නාලන්දාවෙන් බිහිවූ නායක බන්දුල වර්ණපුර සමග ආරම්භක පිති කරුවා වශයෙන් ක්‍රීඩා කිරීමට තරම් සුනිල් වෙත්තමුණි මේ දින වල සිටම දස්කම් දක්වන්නට විය. සෙමෙන් සෙමෙන් සිය ඉනිම ගොඩනැගූ  සුනිල් ශතකයක් කරා එළඹෙමින් සිටීම අනුරට මහත් හිසරදයක් වූ බව පෙනෙන්නට විය. තරඟය කෙමෙන් සුනිල් හා අනුර අතර තරඟයක් බවට පත් වන්නට විය. එම අවස්ථාවේ අනෙක් අන්තයෙන් සුනිල්ට නොමද සහයක් දෙමින් ලකුණු රැස් කරමින් සිටියේ සංජීව සේනානායක යි. නාලන්දාවේ ඉදිරිපෙළ දඟ පන්දු යවන්නා  වූ පසුකලෙක ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා බවට ද පත්වූ ලලිත් කලුපෙරුම පවා සුනිල්ට තර්ජනයක් ඇතිකිරීමට සමත් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය .

අනුර තම පන්දුයවන්නන් සුක්ෂම ලෙස මෙහෙයවමින් පන්දු රකින්නන් නිසි පරිදි එහා මෙහා කරමින් හැකි සෑම උත්සාහයක්ම යොදමින් සිටියේය. කෙසේ නමුත් අවසානයේ සුනිල් ලකුණු 96 ලබා ගෙන ශතකය අභියස ට පැමිණ තිබුණි, ආනන්ද ක්‍රීඩා ලෝලීන් නෙත් යොමාගෙන  සිටියේ ශතකය ලබා ගැනීම සඳහා සුනිල් ගේ මීළඟ පහර කෙබඳු එකක විය හැකිද යන්න යි. වමතින් දඟ පන්දු යවන අනුර නැවත වරක් පන්දු යැවීමට තීරණය කළේය. අනුර පිතිකරුවෙකු ලෙස දකුණතින් පිත්ත හැසිරුවත් පන්දුයැවීම සිදු කලේ වමතින් වීම විශේෂත්වයක් විය. ඒ වන විට මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි කණ්ඩායමේ දක්ෂතම පන්දු රකින්නා වූ ලෙස්ලි නාරන්ගොඩව ඩීප් මිද්විකට් හි ස්ථාන ගත කළේය. අනුරගේ මී ළඟ පන්දුවට සුනිල් ඉදිරියට විත් වැරෙන් පහරක් එල්ල කළේය, ආනන්ද ක්‍රීඩාගාරය ප්‍රීති ගෝෂාවෙන් ගුගුරා ගියේය. නමුත් නාරංගොඩ ගේ දෑස් තමා වෙතට ඉතා ඉහලින් ඇදී එන පන්දුව වෙතම එල්ල වී තිබුණි. නියත වශයෙන් හයේ පහරක් වන්නට තිබු පන්දුවට ඔහුගේ දෙඅතලෙන් මිදී පැන යාමට නොහැකි විය. ප්‍රීති ගෝෂා හඬ වඩාත් තියුනුව ඇසෙන්නට විය, නමුත් මෙවර ඒ නාලන්දා කුඩාරම වෙතිනි. පිටිය මැදට දෑස යොමුකළ අපට දකින්නට ලැබුනේ අනුර විකට්ටුව අසලම බිම හිඳ ගන්නා අකරයයි. කණ්ඩායම මුහුණ දුන් දරුණුතම තර්ජනයෙන් මිදුණු බව හඟවන්නාක් මෙනි. සෙසු ක්‍රීඩකයින් ඔහු වටා රොක්වෙමින් සිය සතුට පල කරන්නට විය.  

එම තරඟයේ මා මතකයේ රැඳුනු  අනෙක් විශේෂ අවස්ථාව නම් ලකුණු 83 ලබා සිටි සංජීව සේනානායකව දවා ගත් අකාරය යි. සංජීව තවත් ලකුණක් කරා වේගයෙන් දිව යමින් සිටියේය , කවර් පොයින්ට්  කලාපයේ පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා  පන්දුව රැගෙන කෙලින්ම විකට්ටුවට යොමුකරමින් ඔහුව දවා  ගන්නට සමත් විය. විශේෂත්වය නම් කවර් පොයින්ට්හි සිට පෙනෙන තනි විකට්ටුව වෙත තම එල්ලය සැනින් ගෙන පන්දුව යොමුකර විකට් අතර දිවීමේ ශුරයෙකු වූ සංජීව සේනානයකව දවා ගත්තේද අන් කිසිවකු නොව අනුර ද සිල්වා වීම යි  .

1967 කණ්ඩායමේ නායකත්වය දරමින් දස්කම් දැක්වූ අනුර ක්‍රීඩා වාරයකදී පළමු වරට ලකුණු 1000 පසු කල ක්‍රීඩකයා බවට වාර්තා පොතට එක්වී තිබුණු අතර ඔහුට 1968දී ද එම කඩ ඉම පසු කරන්නට හැකි විය. 1968 වසරේදී අනුරගේ පිත්තෙන් ශතක 5ක් වාර්තාවී තිබුණ අතර 1967 මෙන්ම 1968 වර්ෂයේ ද හොඳම පාසල් ක්‍රීඩකයා මෙන්ම හොඳම පිතිකරුවාට ලැබෙන කුසලානයද දිනා ගන්නට ඔහු සමත් වී තිබින.

ක්‍රීඩා පිටියේ තුන් ඉරියව්වේම මෙවන් සුවිශේෂ දස්කම් පෑ අනුර වැඩි කලක් නොගොස්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.  කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (SSC) නියෝජනය කරමින් ද්‍රවිඩ ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල තම පළමු තරඟයේදීම  ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අනුර පහුණු කරු එෆ් සී ද සේරම්ගේ දැඩි විනයානුකුල ප්‍රතිපත්තිය නිසා ඇතිවූ විරසකයක් නිසා ඉන් ඉවත් වූ බව වාර්තා වන අතර ක්‍රිකට් ක්‍රීඩාව ආර්ථික වශයෙන් එතරම් ආකර්ශනීය ක්‍රීඩාවක් නොවුණු ඒ වකවානුවේ, අම්බලන්ගොඩ සිය පියාගේ ව්‍යාපාරික කටයුතුවලට හවුල් වීම වඩා යෝග්‍ය යයි ඔහු සිතන්නට ඇත. එවක ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා නොතිබුණද ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන්නට හැකියාව තිබු තවත් ක්‍රීඩකයෙකුගේ සේවය එලෙස අප රටට අහිමි විය. 2016 දී පිලිකා රෝගයට ගොදුරු වී අනුර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67ක් විය. එම අභාවය පිලිබඳ ඔහුගේ පුහුණු කරු නෙල්සන් මෙන්ඩිස් මහතා ඉංග්‍රීසි පුවත්පතකට කල ප්‍රකාශයක සඳහන් වූයේ අනුර ද සිල්වා ලංකාවේ ගාර්ෆිල්ඩ් සෝබස් විය හැකිව තිබුනු බව යි .


Wednesday, January 24, 2024

ASU

 



ASU is the story about a young mother's struggle to choose between humanity and love and her selfless sacrifice, a moving story director Sanjeewa Pushpakumara brings to the Cinema with a strikingly minimalist approach. 

How ? Quite explicitly as a filmmaker with proven skills and such a penetrating eye for detail, Sanjeewa has found the key to his cinematic form in the paintings left behind by the young mother, Indira.  

Taking his creativity to extraordinary heights the director goes on to hang a series of beautifully painted, cinematically framed and juxtaposed, pictures in front of our eyes to tell the story, possibly in the same way young Indira would have told the world if she lived to paint her life story.

ASU is a beautiful cinematic creation not to be missed.

Monday, January 15, 2024

ප්‍රවීණ සිනමාවේදී, ගීත රචක ශ්‍රී නිහාල් ජයසිංහයන් ගේ නිර්මාණ ප්‍රතිභාව පිලිබඳව ඔහුගේ සමකාලීන ජේෂ්ඨ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ගේ මතකය

 

 

1960-1990 දශකවල ලාංකීය සිනමා වංශකථාව පිලිබඳ සොයා බලන කවරකු හට වුවද ජේෂ්ඨ සිනමාකරු ශ්‍රී නිහාල් ජයසිංහ නාමය මග හැරෙනු ඇතයි විශ්වාස කල නොහැක. චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම දෙබස් හා තිර කථා රචකයෙකු හා විශේෂයෙන් ගීත රචකයෙක් ලෙස ඔහු දායකත්වය සැපයූ චිත්‍රපට බොහොමයකි.

1943 උපත ලැබූ නිහාල් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය සාර්ථකව නිම කරන ලද්දේ ඔහු පෙනී සිටි සාමාන්‍ය පෙළ විෂයන් අතර විශේෂයෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා විෂයන් දෙක සඳහා විශිෂ්ඨ සම්මාන ලබා ගනිමිනි. උසස්  පෙළ අධ්‍යාපනය නිම කළ නිහාල් මුලින් ඔහු ප්‍රිය කල වෘතීමය අධ්‍යාපනය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුලත් වුවද කුඩා කාලයේ සිට කලාව කෙරෙහි ඔහු තුල වූ නැඹුරුව හා ක්‍රම ක්‍රමයෙන් නීතිඥ වෘතීය කෙරෙහි ඇතිවූ අප්‍රසාදය ද හේතු කොටගෙන ඉන් ඉවත්ව පුර්ණ කාලීනව කලා කටයුතුවල නිරත වන්නට වූ බවක් පෙනෙන්නට තිබේ. මුලින් පුවත්පත් වලට ලිපි ලියමින් ඇරඹි ඔහුගේ කලා කටයුතු 1962 වන විට 'අවිගත්තෝ' නාට්‍ය හරහා ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවකු දක්වා  වර්ධනය වුනි. 

සිනමාකරුවකු ලෙස නිහාල් ප්‍රකට වන්නේ 1966 ඔහු විසින් දෙබස්, තිරනාටකය හා ගීත රචනා කොට අධ්‍යක්ෂණය කල 'සිහින හතක්'  චිත්‍රපට ප්‍රදර්ශනය වීමත් සමගය. ඉන් පසුව 1968 දී තිරගත වුනු  'ඇමතිකම' හා 1970 දී 'ඒක දිග කතාවක්' සිංහල චිත්‍රපට මෙන්ම 1983 දී 'ඔරු තලෙය කාදල්' නමින් තිරගත වූ ද්‍රවිඩ චිත්‍රපටය ද  ඔහුගේ නිර්මාණයන්ය.

මිට අමතරව දෙබස් හා තිරකතා රචකයෙකු හෝ විශේෂයෙන් ගීත රචකයෙකු  ලෙස ඔහු විසින් දායකත්වය සැපයූ චිත්‍රපට අතර කිංකිනි පාද , හැංගි  හොරා ,බඩුත් එක්ක හොරු , ඔහොම හොඳද?, තුෂාරා, ගොපලු හඬ, සහයට ඩැනී, රොඩී ගම, ගිජු ලිහිණියෝ, ප්‍රදීපේ මා වේවා, ඇගේ අදර කතාව, දමයන්ති, චිං චිං නෝනා, අප්සරා, ශ්‍රී පතුල  හා මොනරතැන්න කිහිපයක් පමණි.

මේ අනුව බලන කල 1966 සිට 1997 දක්වා ගීත රචනා ක්ෂේත්‍රයේ ඔහු රැඳී  සිටි කාල වකවානුව විශේෂයෙන් සඳහන් කල යුතුය. කිංකිනි පාද  චිත්‍රපටය සඳහා ඔහු ලියූ 'මල් සුගන්දේ දම් සුගන්දේ' ගීතය නො ඇසූ නොගැයූ බෞද්ධයෙක් නැති තරම් ය. ඔහු අතින් නිමවූ ස්වතන්ත්‍ර ගී නිර්මාණකරණයේ දී මහා සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න හා ඔහුගේ ඇසුර ඉතා සමීප විය. අද පවා නිතර අසන්නට ලැබෙන1966 තිරගතවූ 'සිහින හතක්' චිත්‍රපටයේ ගීත සුවිශේෂී නිර්මාණ ලෙස ජනප්‍රසාදයට පත් වී ඇත.

ශ්‍රී නිහාල් ජයසිංහ කලාකරුවා අප අතරින් වෙන් වී වසර 10 පමණ ගතවුවද එකල ඔහුගේ සමීපතමයෙකු වූ තවමත් සුජීවත්ව සිඩ්නි නුවර වාසය කරන ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සමග වසර කිහිපයකට පෙර කරන්නට  යෙදුනු පිළිසඳරක දී එතුමා නිහාල් පිළිබඳව මෙසේ සිය මතකය ආවර්ජනය කරන්නට විය .

නිහාල් ගැන කියන්න අපි පරක්කු වැඩියි, මොකද ඉතිං අපේ මතකයත් හැමදාම ප්‍රකෘති තත්වයට පවතින්නේ නෑනේ, හුඟක් දියවෙලා ගිහිල්ලනේ,’ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හඬ අවදි කළෝය.

නිහාල්ට පුදුම ශක්තියක් තිබුනා තනුවක් හදලා දුන්නහම වචන ලියන්න. චිත්‍රපට වලට අපි සමහර වෙලාවට තනු හදලා ඒවාට වචන දානවා එහෙම නැතිනම් ලියපු පදමාලා වලට තනු දානවා. නිහාල්ට හොඳ ශක්තියක් තිබුනා තනුව ඇහුනු ගමන්ම එකට වචන දාන්න. භාෂා ඥානයත් හොඳට තිබුනා ඉංග්‍රීසි දැනුමත් ඉතා හොඳයි.

දැන් ඔය සිහින හතක් චිත්‍රපටියේ සුපුන් සඳක් නැගීලා ගීතය (ජේ ඒ මිල්ටන් පෙරේරා ගයන), තනුව හදනකොටම වචන දාපු ගීතයක්. එක නිහාල් ලිව්වේ 'සුපුන් සඳක් නැගීලා කිරි බැබලෙන පාළුවේ' කියල, සින්දුවේ කියවෙන්නේ 'පාරුවේ' කියල.

 

සුපුන් සඳක් නැගීලා

කිරි බැබලෙන පාළුවේ 

රිදී ගගක් ගලාලා

පළිඟු පුළින තලාවේ

 

සුපුන් සඳක් නැගීලා

 

ආදර දියඹ යටයි

මිණි මුතු දිලෙන්නේ

සුව දෙන කැදැල්ලටයි

අත් තටු සලන්නේ

 

ආදර දියඹ යටයි

මිණි මුතු දිලෙන්නේ

සුව දෙන කැදැල්ලටයි

අත් තටු සලන්නේ

 

සුපුන් සඳක් නැගීලා

 

නළවන තුරුල්ලටයි

රළ පෙළ ඇදෙන්නේ

ගී රස තාලයටයි

පෙමි රළ රඟන්නේ

 

සුපුන් සඳක් නැගීලා

අද වගේ නෙවේ ඒ දවස් වල මුළු සින්දුවම එකපාරටම රෙකෝඩ් කරන්න වුනා, සැහෙන වාදක පිරිසකුත් සහභාගී වුණා. ඒ වේලාවට අර වගේ සුළු වැරදීම්  මග හැරෙනවා, සමහර ප්‍රවීණ ගායක ගායිකාවන්ට වුනත් ගොඩක් වැරදුනු තැන් තියෙනවා.’

අනිත් සින්දුව 'පුෂ්ප මකරන්දය මාගේ' (ගායනය නාරද දිසාසේකර සුජාතා අත්තනායක) ඒකත් අපි දෙන්න ඉඳගෙන මම තනුව දාන ගමන් නිහාල් වචන ලිව්වා. ගීතයක් මතකයේ රැඳෙන්නේ තනුව නිසා, මේ ගීතවල තනුවත් වචනත් හොඳට ගැලපුනා. ඒ දවස්වල අපි දෙන්න ඉතින් මොනවා හරි පානය කරමින් ඉන්න අතරේ මේ වැඩේ පටන් ගන්නවා, එතකොට ඉතින් නිහාල්ලාගේ ගෙදර යනවා එහෙ පියානෝ එකක් තිබුනා, ඉතින් අපි තනුවත් එක්කම සින්දුව හදා ගන්නවා. එයාට තනුවක් අහපු ගමන්ම චන්දැස (ලඝු ගුරු අක්ෂර වලින් ජනිත වන රිද්මය) තීරණය කරන්න පුළුවන් වුණා. මේ පදමාලාවේ වචන බැලුවහම ඔහුගේ භාෂා දැනුම හිතා ගන්න පුළුවන්. 

 

පුෂ්ප මකරන්දය මාගේ

භෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ

භෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ

තවත් විශේෂයෙන්ම කියන්න ඕනෑ නිහාල්ට ද්වි භාෂා ඥානය හොඳට තිබුණා එකත් හරි වැදගත් දෙයක්. පුෂ්ප මකරන්දය ගීතයේ තනු දෙකක් තියනවා (මාස්ටර් ගායනා කර පෙන්වයි) පුෂ්ප මකරන්දය මාගේ......යන්නේ එක විධියකට එතකොට ' සුවඳ හමන දිගන්තේ ... කියනකොට වෙන තාලයක්.’

 

සුවඳ හමන දිගන්තේ

ප්‍රේම මධුර වසන්තේ

මල් පීදුන කැදැල්ලේ

කෝකිලයකු තුරුල්ලේ

 

ලියලන ආදර සෙනේ

ලොව සුව දායක කළේ

රන් මිණිමුතු වැල් තියේ

මගෙ හිත ගිය මාළි‍ගේ

සුජාතා අත්තනායක ගයනා කළා තවත් ලස්සන ගීතයක්, රන්තරු පුන්සඳ ගිලුනාදෝ කියලා, මගේ පුංචි මිනිබිරීත් හරි කැමතියි ඒ ගීතය ගයනා කරන්න. ඒවා ඉතින් අමරණීය ගී. 

 

රන්තරු  පුන්සද ගිලුනාදෝ

පෙම් ලොව මේ ගනඳුරු වීදෝ

රන් අත්තටු පෙළ සිඳුනාදෝ

රං කූඩුව අමතක වීදෝ.....

 

රන්තරු  පුන්සද ගිලුනාදෝ

 

සත්සර වීණාවේ බිඳුනා....

ගී රස ගංගාවේ සිඳුනා...//

ජීවිත යහනේ මේ මධු සිහිනේ

දුක් පණිවිඩයයි කීවේ

දුක් පණිවිඩයයි කීවේ.....

රන්තරු  පුන්සද ගිලුනාදෝ

පෙම් ලොව මේ ගනඳුරු වීදෝ

රන් අත්තටු පෙළ සිඳුනාදෝ

රං කූඩුව අමතක වීදෝ.....

 

රන්තරු  පුන්සද ගිලුනාදෝ

 

චණ්ඩ සුළං හැමුවා ඒ දියඹේ

බැන්ද විමන් කිඳුනා රැල්ලේ....//

ආදර රුවලයි ජීවන ඔරුවයි

මේ බොර දියඹේ ගිලුනේ

මේ බොර දියඹේ ගිලුනේ

 

රන්තරු  පුන්සද ගිලුනාදෝ

අදත් මේවා අහන ගායනා කරන ඈයෝ ඉන්නවා එත් ඉතින් ඒවා කොහොම ආවද කොහොම හැදුවද ඒ අය දන්නේ නෑ. වෙලා තියෙන්නේ නිවේදකයෝ කියල ඉන්න පිරිසගෙ නොදැනුවත් කම තමා. ඒ ගොල්ලෝ කවදාවත් සින්දු කියලා නෑනේ කතා කියන අයනේ, ඔහේ කියවන්න පුළුවන් එච්චරයි. සංගීත ඥානයක් නෑ තියෙන්නේ වාචාල කම විතරයි. තවත් එකක් ඉස්සර නිවේදකයෝ ගීත රචකයෝ වුනාට පස්සේ බොහෝ අසාධාරනකම් සිද්ද වුනා. ඒගොල්ලෝ ප්‍රචාරය කෙරුවේ ඒ අය ලියපු සින්දු විතරයි. ඒක ඉතින් හොඳට පැහැදිලි වෙනවා ඒකාලේ ජනප්‍රිය වුනු සින්දු දිහා බැලුවාම.

මම චිත්‍රපටියකට සින්දු හැදුවේ මුලින්ම 1948. ‘ජීවිතේ ප්‍රීතිවේ’ කියල චිත්‍රපටියකට, නමුත් ඒක අතරමැද නැවතුනා. ඊට පස්සේ විමලවීර මාස්ටර් එක්ක එයාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙලා හිටියා. පස්සේ නිහාල් අධ්‍යක්ෂණය කරපු සිහින හතක් චිත්‍රපටියේ වැඩ කරන්න ලැබුණා. එයා හැංගි හොරා කරන කාලේ වෙනකොට නිහාලුයි මමයි හරි සමීප වුනා.

මේ කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ තිබුණ කාලයක් නෙවේ, දෙමල හින්දි තනු අනුකරණය කරලා තමයි ගීත හැදුනේ. මම ඒක වෙනස් කෙරුවා, මා ගැන මමම කියන එක හරි නෑ ඇත්තටම, අනෙක් අයට පුළුවන් ඒ ගැන හොයා බලන්න.

මට මතකයි ලක්ෂ්මි බායි ගායනා කරපු පිට දීප දේශ ජය ගත්තාගීතය, එකේ තියෙන්නේ මුල් දෙමල ගීතයේ අර්ථයම නෙමේ (ඔහු ද්‍රවිඩ ගීතය ගයා පෙන්වයි). තම රට දේවල් පිටරට පටවා....කියලා ලිව්වට ඒ සින්දුවත් පිටරටකින් ගත්ත එකක්නේ (ඔහු සිනා සෙයි). ඕවා දැනුම ඇතුව කරපු සින්දු නෙමේ. සංගීතඥයෝ හිටියේ හුඟක් ද්‍රවිඩ අය, රොක්සාමි, මුත්තුසාමි එහෙම, ඊට කලින් ගවුස් මාස්ටර්.

ඒ දවස්වල හිටිය ගීත ප්‍රබන්ධකයන්ට ගීත ගායනය ගැන දැනුමක් තිබුනේ නෑ. අදත් බොහෝ විට එහෙම තමයි. නමුත් නිහාල්ට ඒ හැකියාව තිබුනා, ගී තනු මුමුනමින් ගීත ලියන්න පුළුවන් කමක් එයාට තිබුණා.  හැංගි හොරා චිත්‍රපටයට අප නිර්මාණය කළ, සුජාතා අත්තනායක සහ හරූන් ලන්ත්‍රා ගයනා කරන හංස රාණි ආදරේ ගීතයත් හුඟක් ජනප්‍රිය වුණා .

නිහාල් නිකම්ම කළා කාරයෙක් හැටියට හඳුන්වන්න බෑ, එයා කලා ශිල්පියෙක්, ඒ මොකද ඔහු ළඟ ශිල්ප තිබුණා. මේ ක්ෂේත්‍රයේ නමක් ඇති කරගන්න හොඳින් ශිල්ප දැනගෙන තියෙන්න ඔනෑ. ශිල්ප බැරි කෙනා ගිලෙන්න යනකොට අර දන්නා කෙනාව යටකරගෙන තමා නැගිටින්නේ. නිහාල් ළඟ ඒ කැත ගති තිබුනේ නෑ. ඒ කාලේ හරි සටනක් කරන්න තිබුනා අපිට, කොපි සංගීත කාරයෝ අපේ තැටි වල ඉරි ඇන්දා. අද කෙරෙන්න ඕන දෙයක් තමයි ඔය ඉතුරු වෙලා ඉන්න කීපදෙනා එකතු කරගෙන සංගීත සංගායනාවක් වගේ පවත්වලා තියෙන අඩුපාඩු හදා ගන්න එක. 

හෙළයේ ගාන්ධර්වයා ඔහුගේ දරුවෝ හා මුණුබුරෝ කියලා අපි පොතක් කෙරුවා (අපේ තාත්තනේ සාදිරිස් මස්ටර්) ඒකෙ තව ටිකක් විස්තර ඇති.

අවාසනාවකට මා ළඟ ඒ මනුස්සයා (නිහාල්) එක්ක ගත්තු පින්තුරයක්වත් නෑයි අපගේ පිළිසඳර අවසන් කරමින් මෙම ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයාණෝ සුසුමක් හෙළුවෝය.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සිහිපත් කළ  සිහින හතක් චිත්‍රපටයේ ගීත පහත ලින්කු හරහා ශ්‍රවණය කරන්න

1.    සුපුන් සඳක් නැගීලා (ජේ ඒ මිල්ටන් පෙරේරා)

https://www.youtube.com/watch?v=sD7a1AvHYBk&ab_channel=NihalMunasinghe

2.   පුෂ්ප මකරන්දය මාගේ ( සුජාතා අත්තනායක සමග නාරද දිසාසේකර)

https://www.youtube.com/watch?v=9kIqk8ZMFJM&ab_channel=NihalMunasinghe

3.    රන්තරු පුන්සඳ ගිලුනාදෝ  (සුජාතා අත්තනායක)

https://www.youtube.com/watch?v=fkof9Oy_VPQ&ab_channel=NadeshwariSujathaAttanayake

 


My Red Comrade and the Man of Culture

  T he   definition found in the internet for 'Man of Culture' refers to someone who appreciates things considered refined, classic,...