Wednesday, January 6, 2021

සොඳුරු ස්වර මැවුම්කරු | නිමල් මෙන්ඩිස් | Nimal Mendis


නිමල් මෙන්ඩිස් කිවූ පමණින් ශ්‍රී ලංකාවේ ගීත ලෝලී රසිකයන්ගේ මතකයට එන්නේ ඔහු විසින් 70 -80 දශකයේ නිර්මාණය කල සිනමා ගීතයි . මාස්ටර් සර්, ගඟ අද්දර, රන් ටිකිරි සිනා, නිම් හිම්  සෙව්වා, උපුල් නුවන් විදහා එවැනි අතිශය ජනප්‍රිය වූ ගීත කීපයකි. සිය ජීවිතකාලයේ අවුරුදු 30කටත් වැඩියෙන් බටහිර රටවල් වල ජීවත් වුනද විටින් විට ශ්‍රි ලංකාවේ ගතකල කෙටි කාලයන්හිදී ඔහුට ලාංකික රසිකයින්ගේ ජනාදරයට පත්වූ සිංහල ගීත රාශියක් නිර්මාණය කිරීමට හැකිවීම පුදුම සහගතය. 1950-60 දශකවල බ්‍රිතාන්‍යයේ ජීවත්වීම ඇරඹු තරුණ සංගීතවේදී නිමල් නිර්මාණය කල ඉංග්‍රීසි ගීත BBC රූපවාහිනී සේවයේ ජනප්‍රියතම  පොප් ගීත අතරට පවා එක්වුණා. වසර ගණනක විදේශ පදිංචියෙන් පසු 2009 අගදී  මෙන්ඩිස් පවුල   නැවත ලංකාවට පැමිණයේ  ජිවිතයේ අවසන් කාලයේ තම මව් රටේ ජීවත්වීමේ හා ඒ සඳහා  විශේෂයෙන් තම පුතුගේ තිබූ උනන්දුව නිසාමය. ඔහුගේ බලාපොරොත්තුව වුයේ ශ්‍රී ලංකාවේ තරුණ නිර්මාණ ශිල්පින් හා නිර්මාණය කරණයේ යෙදෙමින් ඔවුනට ජාත්‍යන්තර තලයට යාමට තම ශක්ති පමනින් දායක  විමටයි. 

මා හට එවැනි සුවිශේෂ  නමුත් අතිශයින් නිරහංකාර නිර්මානකරුවා  මුණගැසෙන්නේ 2011-14 අතර කාලයේදී ඔහු බත්තරමුල්ල සුභුතිපුර අප නිවසේ පදිංචි වී සිටි අවුරුදු 4ක් පමණ කෙටි කාලයේදීය. ඊට වසරකට පමණ පෙර සිදුවූ තම ප්‍රියාදර බිරිඳගේ හදිසි අභාවය නිසා බෙහෙවින් කම්පනයට පත්ව සිටි මෙන්ඩිස් පිය පුතු දෙපෙළ කලින් සිටි නිවස අතහැර වෙනත් නිවසක පදිංචි වීමට තීරණය කර තිබුණි. ඉතා ඉක්මනින් ගොඩනැගුනු මිතුරු ඇසුර ඔස්සේ මා නිවාඩුවට පැමිණි සම විටකම ඇතිවූ හරවත් කතාබහ සතුටුසාමිචි ආදී  කෙලවර 2013 දෙසැම්බරයේ පමණ පටිගත කරන්නට යෙදුනු සම්මුක සාකච්චාවක් ඇසුරෙන් පිළියෙළ කල මෙම ලිපිය නිමල් මෙන්ඩිස්  නම්වූ ඒ ප්‍රවීණ සංගීතවේදියාගේ අතිමහත් රසික කැල වෙනුවෙනි.

මහල් දෙකක් වූ බත්තරමුල්ල නිවසේ පදිංචි වී සිටියේ අප ජේෂ්ඨ සංගීත වෙදියානන් හා ඔහුගේ පුත් පෝල්මරී (Paul-Marie) පමණි. ඉහලමාලයේ පැත්තක විශේෂයෙන් සැලසුම් කරගත් වායු සමීකරණය කල ස්ටුඩියෝව විය. ඔවුන් දෙදෙනා බොහෝ විට කාලය ගතකලේ මෙම ස්ටුඩියෝව තුලයි. විවෘත සැලැස්මකට (open plan) නිමවා තිබූ එම නිවසේ පහත මාලයේ තැනින් තැන ඔහුට අයත් ඉතා පැරණි ගෘහ භාණ්ඩ තබා තිබුණි. ආලින්දයේ කොනක වූ  ඕලන්ද කාලයට අයත් විය හැකියය් අනුමාන කළහැකි පුටුවකට බරදුන් නිමල් මෙන්ඩිස් සංගීතවේදියා මෙසේ තම මතකය අවධි කරන්නට විය.

නිමල් සහ පෝල්මරී මෙන්ඩිස් - ස්ටුඩියෝව තුල

'මම කුඩා කාලේ අපි ජීවත් වුනේ බම්බලපිටියෙ මිලාගිරිය මාවතේ වෙරළ ආශ්‍රිත නිවසක, ඒ කාලේ බම්බලපිටියට බම්බලවත්ත කියලත් කියනවා. මම ඉපදුනෙත් ඒ මිලාගිරියේ ගෙදර. මම මුලින්ම ඉගෙනගත්තේ සෙන්ට් පිටර්ස් ඊට පස්සේ සෙන්ට් තෝමස් කොලේජ් ප්‍රෙප්  එකට ගියා අවුරුද්දක් විතර, ඒ එක්කම යුද්ධ කාලේ අපි අම්මලාගේ ගිරිහාගම වත්තට ගිහින් හිටියා මාස 11ක් විතර, ඒ කෙටි කාලය මම හරි අශාවෙන් ගත කලේ  . ආයෙමත් කොළඹ ඇවිත් දිගටම ඉගෙනගත්තේ රෝයල් කොලේජ් එකේ.  මගේ පියා දකුණු පළාතේ අම්බලන්ගොඩ ඉපදුණු කෙනෙක් රැකියාව කලේ සුරාබදු පරීක්ෂකයෙක් හැටියට.' (මෙන්ඩිස් පියා පසුකලක දිවයිනේ  සුපතල මෙන්ඩිස් ස්පෙෂල් අරක්කු සමාගමේ නිර්මාතෘ වුවද ඒ පිලිබඳ සඳහන් කිරීමට ඔහු වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නොතිබුණි.)

'අපේ සීයට ඒ කියන්නේ අම්මගේ පියාට, බම්බලපිටියේ අපි හිටිය පළාතම වගේ අයිති වෙලා තිබිලා තියෙන්නේ , අක්කර 300. එයා පොහොසත් වැවිලිකරුවෙක්. අම්මලාගේ ගම නුවර ඇල්දෙනියේ, එයා කොන්වන්ට් එකක ඉගෙන ගෙන තිබුනේ. ඇය ගෘහනියක් නමුත් ලේඛිකාවක් එයා තමා ලංකාවේ මුල්ම ඉංග්‍රීසි නවකතාව, Tragedy of a Mystery, ලියු කාන්තාව . ඒක publish කරලා තිබුනේ එංගලන්තයේ 1928 දී .  අම්මාගේ දෙවන පොත  Nandimitra , දුටුගැමුණු රජතුමාගේ යෝධයාගේ නමින්  ආදරකතාවක් පසුබිම් කරගෙන , ඒ පොත මාර්ටින් වික්‍රමසිංහ සිංහලට පරිවර්තනය කළා. අම්මා කෙටිකතා කීපයකුත් ලියලා තියෙනවා 

මගේ අම්මා කතෝලික තාත්තා බෞද්ධ. එත් අම්මා පල්ලි ගිය කෙනෙක් නොවේ, අපිව පල්ලි යවන්න උනන්දු වුනෙත් නෑ . ඇගේ විශ්වාශය වුනේ ගෙදර ඉඳලා දෙවියන් අදහන්න පුළුවන්ය කියලා. මම හිතන්නේ ඒ නිසා ඇයට ලිවීමේ කටයුතුවලට කාලය ලැබුනා කියලා. කොහොමවුනත් බෞද්ධයෙකු වුන අපේ තාත්තා අපිව පල්ලියට එක්කගෙන ගියා , අපි දේව මෙහෙයට සහභාගී වෙනකන් එයා කාරෙකට වෙලා පත්තරයක් කියවනවා. මම අම්මට කියනවා ඒ කාලේ මා දන්නා හොඳම කතෝලිකයා අපේ තාත්තා කියලා (ඔහු සිනා සෙයි ) . ඔහු ඇත්තමටම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ බෞද්ධ පවුලක කෙනෙක් ,  නායක හාමුදුරුකෙනෙක් හිටියා ඔහුගේ මාම කෙනෙක්. ඇත්තටම ඔහු නියම බෞද්ධයෙක් කියලා මට දැන් හිතෙනවා.

මම පියානෝව මුලින්ම වාදනය කරන්න පටන් ගන්නකොට මට යාන්තම් අවුරුදු 7-8ක්  විතර ඇති. හැබැයි  මට ඉක්මනට පියානෝව හුරු වුනා, මගේ අක්කා වාදනය පුරුදු වෙමින් හිටියේ ඒ කාලෙ, ඇය හරි දක්ෂයි පියානෝ වාදනයට . මට වයස අවරුදු 12දී තමා සංගීතය ක්‍රමවත්ව ඉගෙන ගන්න පටන් ගත්තේ ගුරුවරියක යටතේ . ඒ ගුරුවරියගේ නම එරින් අබේසුන්දර, Music Notations (සංගීත ප්‍රස්තාර) ලියන්න ඉගැන්වුයේ එරින් ගුරුවරිය .

මට වයස 18 විතර වෙනකොට තාත්තා මාව නුවර අපේ අම්මාගේ ඥාතියෙකුගේ ගෙදරකට යැව්වා ටික කලක් එහෙ ගත කරන්න කියලා .ඒ ගේ තිබුනේ දළදා  මාලිගාවේ තේවා හඬ ඇහෙන මානයේ ලස්සන තැනක.. මම ඒ පරිසරයට සහ නිතර ඇසෙන හේවිසි හොරනෑ හඬට ඇලුම් කරන්න පටන් ගත්තා. කොළඹ පරිසරයට පුරුදු වෙලා හිටිය මම ඇත්තටම පුදුම වුනා මේ රටේ මිනිස්සුන්ට පරම්පරාවෙන් උරුම වෙලා තියෙන කලාවන්, විශේෂයෙන්  සංගීතය නැටුම් ආදී දේවල් ගැන ටිකෙන් ටික දැන ගන්න ලැබෙනකොට . ඔවුන් පාරම්පරිකව ලබා තිබුණු ප්‍රතිභාවන් සහ හැකියාවන් අති විශිෂ්ඨයි. බලන්න මේ රටේ ජන ගී කොයි තරම් ලස්සනද කියලා.

පාසල් යන කාලේ මගේ වැඩි කැමැත්තක්  තිබුනේ මුහුදේ නාන්න, උදේ දහයට විතර මුහුදු වෙරළට ගියහම අපහු එන්නේ හවස දෙකට විතර. උඩුබැලි අතට මුහුදේ පාවෙවී අනාගත සිහින දකින එක තමා මම වැඩිය ප්‍රිය කෙරුවේ. මට තිබුන ලොකුම ආශාව තමා බටහිර රටකට ගිහින් මියුසික් පැත්තෙන් දියුණුවෙලා ප්‍රසිද්ධ වෙන්න. මට හුඟක් හිතවත් ඥාති සොහොයුරියක් හිටියා ප්‍රේමා කියලා. බොහෝ දවස් වල ඇය මා හමු වන්න මුහුදු වෙරළට එනවා. සමහර දාට අපි ගෝල් ෆේස්  එකේ ඉඳගෙන මුහුදේ නැව් එහා මෙහා යන දිහා බලාගෙන ඉන්නවා. මම එයාට දවසක් කිව්වා මේ වගේ  නැවකට නැගලා යන්න පුළුවන් නම් කොච්ච්ච්ර දෙයක්ද කියලා. එක පාරටම  ඇය ඒක අනුමත කරලා මට උදව් කරන්නත් කැමති වුනා. ඇය කිව්වා ඇගේ පියාගෙන් ලැබුණු මුදලක් ඈ ළඟ තියෙනවා ඒක මට දෙන්නම් කියලා. ඉතින් අපි මේ ගමනට ලෑස්ති වුනා. 

මම මේ ගැන නිකමට මගේ අක්කට කිව්වා, ඇයට මා හුඟක් කිට්ටුවෙන් හිටිය නිසා. එයා ඇහුවා කොහාටද යන්න හදන්නේ කියලා, මම කිව්වා හොලිවුඩ් වලට කියලා. එයා පුදුම වුනා , මට පිස්සුද කියලා අහලා එයා මාව ඇදගෙන ගිහින් අපේ තාත්තාට කිව්වා ඒ ගැන. මම තාත්තාව බදාගෙන සමාව ඉල්ලුව නිසා එයා මට දඬුවම්  කලේ  නෑ  හැබැයි  ආයෙත් ප්‍රේමා හම්බ වෙන්න නම් යන්න එපා කිව්වා. මට එතකොට වයස 14ක් විතර ඇති.

මගේ තාත්තාගේ  අදහස තිබුනේ  මාව  Accountant කෙනෙක් කරන්නයි . ඒ හින්දාම  තමා පස්සේ කාලේ ඒ ගොල්ලො මාව එංගලන්තයට යැව්වේ. මම අවුරුද්දක් විතර ඉගෙන ගත්තා නමුත් කැමැත්ත තිබුනේ  මියුසික් කරන්න . ඉතින් ටිකෙන් ටික ඒ පැත්තට යොමු වුනා. මම වැඩියෙන් කැමති වුනේ සින්දු ලියන්නයි ගායනා කරන්නයි . වෙස්ටන් මියුසික් වල සින්දු ලියනවා කියන්නේ වචන(lyrics) ලියනවා පමණක් නොවේ මුළු ගීතයම නිර්මාණය කරන එකටයි.  විදේශික ගායකයො කීප දෙනෙකුත්  මගේ ගීත ගායනා කරලා තියෙනවා. මම හදපු සින්දු දෙකක් විතර BBC ටෙලිවිෂන් එකේ ටොප් චාර්ට් එකටත් ආවා. එහෙම ජනප්‍රිය වුනු සින්දු වුනේ  Kandian express, cherry blossom, kiss kiss Kiss සහ oh my love. දවසක්, ඔය kiss kiss kiss සින්දුව හදපු  අලුත වගේ, මගේ කණ්ඩායමත්  එක්ක අවන් හලක ගායනා කරමින් හිටියා . එතන හිටිය තරුණ කාන්තාවක් මගේ ලඟට ඇවිල්ල ඇහුවා ඒක හරි ලස්සනය් ඇයට ගායනා කරන්න පුලුවන්ද කියලා. මම එකඟවුණා මොකද මම දැනගෙන හිටියා ඇය, මේරි මාර්ෂල්, බ්‍රිතාන්‍යයේ නැගී එන ගායිකාවක්  බව. ඇය ඒ ගීතය තැටිගත කළා වගේම අතීශයින් ජනප්‍රිය වුනා, ලංකාවේ පවා නිතර ප්‍රචාරය වුනා.'


ලන්ඩනයේදී මිතුරන් සමග  

'මම එංගලන්තයේ  ඉඳලා අයෙත් ලංකාවට ආවෙ 1959දි  විතර, එහෙම වුනේ මම  ස්විස්ලර්ලන්තයේදි  motorbike එකක යනකොට සිදුවුනු අනතුරක් නිසා, දෙමව්පියෝ  අයෙත් මාව ලංකාවට ගෙන්නා ගත්තා. ඒ ඇවිත් මම කොළඹ හෝටල් වල පියානෝ වාදනය කරන්න පටන් ගත්තා. ඒඩ්රියන් ෆරනාන්දස් , තිස්ස සෙනෙවිරත්න වගේ අයත් එක්ක මම වැඩ කළා. තිස්සගේ මල්ලි තමා හැමෝම වැඩිය දන්නේ , හැරල්ඩ් සෙනෙවිරත්න. ලංකාවේ මුල්ම රාත්‍රී සමාජ ශාලාව Pigal එකේත් අපි වාදනය කළා. දන්නවද ඒ කාලේ අපිට කීයද  ගෙව්වේ කියලා, එක රැයකට , රු 10 යි !' (ඔහු සිනාසෙයි ) .   

'මේ කාලේ ප්‍රේමා ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් හැටියට ටයිම්ස් පත්තරේ වැඩ කරනවා. ඉතින් ඒ වෙනකොට මගේ නිර්මාණ වලට සෑහෙන පිළිගැනීමක් තිබුන නිසා ප්‍රේමා මා ගැන පත්ත්රේට ලිපියක් ලියලා තිබුනා. තව මතක් කරන්න ඕනෑ ලිව් විජීමන්න , වර්නන් කොරයා, ජිමි බරූචා,  පස්සේ කාලේ විජය කොරෙයා වැනි අය මගේ සින්දු වලට ගුවන් විදුලියේ  හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා  . 

1960 දී මම ආයෙත් එංගලන්තයට ගියා ඒ පාර අවරුදු 8ක් විතර එහෙ හිටියා. ඒ අතරේදී තමා මට අර අවාසනාවන්ත සිද්දියට මුහුණ දෙන්න වුනේ . මේ වෙනකොට , ඒ කියන්නේ 1968 විතර , මම රාත්‍රී සමාජ ශාලාවක පියානෝව වාදනය කරන රැකියාවක් කරමින් උන්නා . දවසක් රෑ වැඩ ඉවර වෙලා එනකොට අන්තිම බස් එක ගිහින්, ඉතින් මම හිටිය කාමරයට එන්න ඇවිද ගෙන අවා. මා ලඟින් ගිය වෑන් එකක් එකපාරටම නතර කරලා  කට්ටියක් බැහැලා ඇවිත් මට පහරදුන්නා. ඒ දවස් වල අපි වගේ හම කළු අයට වර්ණභේද වාදීන්ගෙන් මේ වගේ පහරදීම් වලට ලක්වෙන්න වෙන බව මම අසා තිබුනා. එත් මම නිතරම සුදු ජාතිකයින් එක්ක වැඩ කලත් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ . ඉතින් ඒකට මුහුණ දෙනකම්  ඒ ගැන වැඩි බැරෑරුම් කමක් හිතුනේ නෑ . අවසානයේදී ඔවුන් මට වෙඩි තිබ්බා එත්  වාසනාවට අය්රිෂ් ජාතිකයෙක් ඉදිරිපත්වෙලා මට උදව් කළ නිසා ජීවිතය බේරුණා.

ඒ සිද්ධියෙන් මම හුඟක් කම්පාවට වුනා , හිත හදා ගන්න කියලා ආයෙත් අර පාරෙන් ගියා රෑ ඒ වගේ වෙලාවට, ඒත් හරි ගියේ නෑ . ඔක්කොම ඇත හැරලා දාලා නැවත ලංකාවට ඇවිල්ලා නොර්ටන් බ්‍රිජ්වල  අක්කර 10 ඉඩමක් අරගෙන ගොවිපලක් පටන් ගත්තා. මට ඉන්න කාමර 2ක පුංචි ගෙයක් හදා ගෙන ගොවියෙක් වගේ ජිවත් වුනා අවුරුදු 5ක් විතර. එහෙදි අර  එංගලන්තේ පුරුද්දට ඔක්කොම කම්කරු වැඩ කෙරුවෙත් මම. තනකොළ  කපලා මිටි  බැඳලා කරේ තියාගෙන යනකොට මිනිස්සු හිනාවෙනවා  අනේ  මහත්තයා මොකද මේ කියලා. මට උදව්වටත් දෙන්නෙක් හිටියා.

ඔය කාලේදී තමා මට මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා තේරුනේ. දුප්පත් මිනිස්සු කොතරම් අසාධාරණයට ලක්වෙලාද කියලා මගේ  ඇස්  දෙකෙන් දකිනකොට මම හරි කනගාටු වුනා.

දවසක් මගේ මිත්‍ර මණික් සන්ද්‍රසාගර මාව බලන්න එහේ අවා. ඔහු කිව්වා  මොනවද ඔයා මෙහෙට වෙලා මේ කරන්නේ ඔයාට මේවා හරියන්නේ නෑ , කොළඹ ඇවිත් මගේ  චිත්‍රපටි වැඩ වලට උදව් වෙන්න කියල. ඔහු ඒ දවස් වල කළු දියදහර චිත්රපටියේ වැඩ පටන් ගන්න ලෑස්තිවෙමින් හිටියේ. මට ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න කියලා ඔහු ඉල්ලා සිටියා. ඉතින් මගේ සිංහල චිත්‍රපට සංගීත නිර්මාණ ජීවිතය පටන් ගත්තේ එහෙමයි මගේ මිත්‍ර මණික් නිසා. මුල්ම සිංහල සිනමා ගීතය නෙවිල් ප්‍රනාන්දු ගායනා කල 'මාස්ටර් සර්' බිහි වුනේ එහෙමයි. ඒ සින්දුව මම මගේ නොර්ටන් බ්‍රිජ් වල අත්දැකීම් අනුව ඉංග්‍රීසියෙන් ලියපු සින්දුවක්. එහේ කම්කරුවෝ ඒගොල්ලන්ගේ ස්වාමියාට මාස්ටර් එහෙම නැතිනම්  සර් කියලා තමා කතා කෙරුවේ. ඉතින් මේක ඔවුන්ගේ අසරණකම දැකලා ලියපු ගීතයක්.  කරුණාරත්න අබේසේකර ඒකට සිංහල වචන දාලා දුන්නා. 

කළු දිය දහර  චිත්‍රපටය සාර්ථක වුනු නිසා මට දිගින් දිගටම චිත්‍රපට වල වැඩ කරන්න ලැබුනා. සිතාදේවි, රැම්පේජ් ,ගඟ අද්දර, ගැහැණු ළමයි , අහසින් පොළොවට, බැද්දේගම  ගෝඩ් කිංග්  වගේ උසස් තත්වයේ චිත්‍රපටි වල සංගීතය නිර්මාණය කරන්න අවස්ථාව  ලැබුනා.  අන්තිමට වැඩ කරපු  චිත්‍රපටය,  දුවක මවක මිස.' (මෙම සම්මුක සාකච්චාව සිදුකෙරුනු ලැබුවේ  2013 දී ය, ඉන්පසු නිමල් මෙන්ඩිස් සුසීමා චිත්‍රපටයට සංගීතය සපයා තිබුනා, අවසානයේ සුමිත්‍රා පිරිස් අධ්‍යක්ෂණය කල වෛශ්නාවී චිත්‍රපටයේ ද සංගීතය නිර්මාණය කල නිසා ඔහු සංගීතය නිර්මාණය කල අවසන් චිත්‍රපටය එයයි.)

                                            ගඟ අද්දර ගීතය පටිගත කල මොහොත 



මාස්ටර් සර් ගීතයේ රූපවාහිනී පටිගතකිරිමකදී 

'මම හිතන්නේ සිනමා ක්‍ෂේත්‍රයේ මගේ ගොඩක් නිර්මාණ වල  තියෙන පෙරදිග නැතිනම් ලාංකික හුරුව මට ලැබෙන්න ඇත්තේ මහනුවර ගතකල කාලයේ  ලැබුණු අභාෂය වෙන්න ඔනෑ කියලා . ඒ පළාතේ පරිසරය පවා නිර්මානශිලිත්වයට වැඩි දියුණු කරගන්න රුකුල් දුන්නා  කියලයි මට හිතෙන්නේ. මම මගේ ඔක්කොම සින්දු ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් ලියුවත් ඒ සින්දු සිංහලට පරිවර්තනය කලාට පස්සේ ඒවායේ ස්වදේශීය බව මතුවුනා පුදුම විදියට, ඒ නිසා තමා ඒ ඔක්කොම වගේ රසිකයෝ වැළඳ ගතෙතේ.

ඉතින් මගේ විවාහය සිදුවෙන්නෙත් මේ සිනමා සංගීත නිර්මාණකරණයට පිවිසුනාත් එක්කමයි . මට රංජනී හමුවුනේ මගේ අක්කගේ හිතවතියක් හැටියට. ඈ දැක්ක ගමන් මම දැනගත්තා මම බඳින්නේ එයාව කියලා (It was Love at First Sight - ඔහු අහිංසක ලෙස සිනාසෙයි ). රංජනී  මට වැඩිය අවුරුදු පහක්  විතර වයසින් බාල හරි ප්‍රසන්න තරුණියක්. මම ඇය වෙනුවෙන් ලියපු ගීතයක් තමා මණික් සන්ද්‍රසගර හදපු  සිතා දේවි චිත්‍රපටය වෙනුවෙන් නැවත නිර්මාණය වුනේ,  නිම්  හිම්  සෙව්වා ගීතය, ඒක ඉතා ජනප්‍රිය වුනා ,  අමරදේව මාස්ටර් මාත් එක්ක හරි උනන්දුවෙන් වැඩ කළා ඒ ගීය සාර්ථක කර ගන්න. මගේ අනිත් සින්දු වගේ ඒ සින්දුවත් ලිව්වේ ඉංග්‍රීසියෙන් පස්සේ ඔගස්ටස් විනයාගරත්නම් ඒක ලස්සනට සිංහලට  පරිවර්තනය කළා. මම රන්ජනී වෙනුවෙන් සින්දු හතක් විතර හදලා තියෙනවා.' 

නිමල් , රංජනී මෙන්ඩිස් යුවල  පොල්මරී පුතු සමග පැරීසියේදී 

'ඉන් පස්සේ, අපි නැවත කාලයක් යුරෝපයේ ජිවත් වුනා එංගලන්තයේ සහ ප්‍රංශයේ. පුතා , පෝල් මරී, ඉපදුනේ එහෙදි. 2009 තමා ආයෙත් ලංකාවට ඇවිත් පදිංචි වෙන්න තීරණය කලේ. පරණ යාලුවෝ හුඟක් අය දැන් නැහැ. මණික් සන්ද්‍රසාගර ,හැරල්ඩ් සෙනෙවිරත්න, දැන් ඒ ඔක්කොම ගිහින්, මගේ අක්කලාගෙනුත්  එක්කෙනයි ඉන්නේ. සේරටම  වැඩිය රංජනී! අපි නොසිතුව විදියට එයා හදිසියේ නැති වුනා. ඉතින් දැන් මමයි පුතයි විතරය් ඉන්නේ . එයා ශබ්ද ඉංජිනේරුවෙකු  හැටියට එංගලන්තයේ BBC එකේ වැඩකෙරුවා අවුරුදු හතක්  විතර. දැන් මගේ වැඩ වලට සහය වෙනවා. ඔයා දන්නවානේ  එයා ලංකාවටත් ලංකාවේ  සංගීතයටත් පුදුම කැමැත්තක් තියෙනවා, උඩරට බෙර වාදනය හොඳින් පුහුණු වෙලා තියෙනවා. පුතා පිළිවෙලක් වෙනකම් තමා දැන් බලාගෙන ඉන්නේ, ඉන් පස්සේ මට යන්න පුළුවන්!' ඉතා හැඟුම්බරව පැවසූ නිමල් මෙන්ඩිස් ජේෂ්ඨ සංගීතවේදියා නිවසේ මැද මිදුල කෙලවරවූ පාම් ගස දෙස නෙත් යොමාගෙන සිටින්නට විය.

2015දී බත්තරමුල්ල නිවස හැරගොස් මාලබේ ප්‍රදේශයේ ඔවුනටම අයත් නිවසක පදිංචි වීමට නිමල් සහ පෝල් මරී දෙපලට හැකි වුනා. කෙසේවෙතත්  කිසිවෙකුත් නොසිතූ ලෙසින් ශ්‍රී ලංකා සංගීත වංශ කතාවේ නොමැකෙන සටහන් තැබූ මෙම සොඳුරු ස්වර මැවුම්කරුවා එම වසරේදීම අප අතරින් වෙන්ව ගියා . 

MAY HE REST IN PEACE!

1 comment:

My Red Comrade and the Man of Culture

  T he   definition found in the internet for 'Man of Culture' refers to someone who appreciates things considered refined, classic,...