Tuesday, July 2, 2024

නාලන්දාවෙන් බිහිවූ සුවිශේෂ ක්‍රිකට් තරුව අනුර ද සිල්වා

 


දහවල් එකහමාර වනතුරු නොඉවසිල්ලෙන් සිටි අප දවසේ නිමාව සනිටුහන් කරන අවසාන සීනු හඬත්  සමග පහ වසර පන්ති පේලිය පුරා රැවු දුන් යෝ වදතං පවරෝ මනුජේසු  ගාථාව උඩින් පල්ලෙන් ගයා හමාර කොට, එකල අපගේ පාසල් බෑගය වූ කුඩා සූට් කේසය අතැඟිලි වල රුවාගෙන පිට්ටනිය වෙත ඉගිලුනෙමු. පුරුද්දක් ලෙස සෑම පාසල් දිනකම පාහේ විවේක කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කල අප විකට්ටුව ලෙස යොදා ගත්තේද මෙම සුට් කේසයයි.

ක්‍රිකට් තරඟය ඇරඹී ඇත , නාලන්දා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම පටන්ගෙන  ඇති බව පෙනෙන්නට විය ' තඩ්  ', ' තඩ් ' පන්දුව හා පිත්ත ගැටෙන හඬ ද ඒ හා මුසු වූ අත්පොලසන් හඬද පිටිය සිසාරා ඇසෙන්නට විය. ලකුණු පුවරුවේ නාලන්දා නම ඉදිරියෙන් දිස් වූ 99/1 105/1 ලෙස සටහන් වෙමින් තිබුනද නැවත නැගුනු ඔල්වරසන් හඬ කියා පෑවේ තවත් ලකුණු 6ක් එයට එක්  විය යුතු බව යි. එකල ලකුණු පුවරුවේ ලකුණු සටහන් කලේ පුවරුව පිටුපස සිටින අයෙක් විවෘත කවුළු හරහා ඉදිරිපසට පෙනෙන ආකාරයට නොම්මර තහඩු එල්ලමිනි. පිටිය වටා වූ ප්‍රේක්ෂකයන් අතරින් රිංගා ගිය අප සූට් කේසය බිම තබා එයමත හිඳ ගත්තා පමණකි තවත්  'තඩ්' හඬක් සමගින් අපට ඉහලින් ඉගිල ගිය පන්දුව තක්ෂිලා ගොඩනැගිල්ල ඉදිරියේ පතිත වු  ආකාරය තවමත් මතකයේ ඇත. තවත් ලකුණු 6ක්! , මෙසේ ඉවක් බවක් නැතිව පන්දුවට පහරදෙමින් සිටියේ අන් කිසිවෙක් නොව එවකට පාසල් මට්ටමේ දක්ෂතම පිතිකරුවා ලෙස ප්‍රකටව සිටි නාලන්දා නායක අනුර ද සිල්වා බව දැනගැනීමට කුඩා අපට තවත් සාක්ෂි අවශ්‍ය නොවිණි.

මෙම සුවිශේෂ පිති හරඹය විශේෂයෙන් 1967-68,  ක්‍රිකට් තරඟ වාර වල නාලන්ද ක්‍රීඩා පිටියේ මෙන්ම අප පාසැල අනෙක් පාසල් හා තරඟයේ යෙදුනු අනෙක් පාසැල් ක්‍රීඩා පිටි වල ද දක්නට ලැබුණු සුලබ දසුනක් විය. යම් හෙයකින් අනුර අඩු ලකුණු ගණනකට දැවී ගියහොත් පිටිය වටා සිටි නරඹන්නන් රංචු පිටින් ක්‍රීඩා පිටියෙන් පිටව ගිය බවද නොරහසකි.

මේ සටහන ලියන්නට සිතුනේ පසු ගිය දිනක අන්තර්ජාලයේ දකින්නට ලැබුණු නාලන්දාවේ දීප්තිමත් ආදිශිෂ්‍ය හා ක්‍රීඩා භාර ආචාර්ය වරයෙකු මෙන්ම විශ්ෂ්ඨ ක්‍රීඩා විචාරකයෙකුද  වූ ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් කරන ලද සම්මුඛ සාකච්චාවකදී අනුර ද සිල්වා පිළිබඳව කල සඳහනක් කියවීමට ලැබුණු පසුව යි. එතුමා අනුර ගැන මෙසේ කියා තිබුණි,

"අනුරට පුදුම හැකියාවක් තිබුනා ලකුණු ලබා ගන්න, නමුත් මිනිහ ටිකක් දඩබ්බරයි. පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහත්තය තමා ඔහුව සොයාගෙන තිබුනේ, ඔහු මට කිව්වා අනුර ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න ටිකක් අමාරුකාරයා කියල. අපේ පළමුවන මැච් එක තිබුනේ , සෙන්ට් ඇන්තනීස්  කොලේජ් එකත් එක්ක නුවරදි, ඉතින් අපි ගියා නුවර, මම කණ්ඩායමට කියල තිබුනා තරඟයට කලින් දවස නිසා රාත්‍රී කෑම වෙලාවට අරගෙන කලින් නින්දට යන්න කියල. නමුත් කෑමෙන් පස්සේ  බලනකොට අනුර හිටියේ නෑ , එයා ආපහු  අවේ රෑ 12ට විතර. මම එක වරම ඔහුට කිව්වා තමුසෙට මම හෙට ක්‍රීඩා කරන්න දෙන්නේ නෑ කියල, ඉතින් මේ ගැන එවකට අපගේ විදුහල්පති, ලංකාවේ සිටිය ශ්‍රේෂ්තඨතම  විදුහපතිතුමෙකු වූ ගුණපාල වික්‍රමරත්න මහතාට දුරකථනයෙන් දන්වා සිටියා , නමුත් ඒ වෙලාවේ එතුමා කියා සිටියා එහෙම කරන්න එපා ඔහුට ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න කියා. විශ්වාශ කරන්න පහුවදා  තරඟයේදී  අනුර ලකුණු 132 ලබා ගත්තා.  ඒ විතරක් නෙවේ 100 ඉඳල 132 ගැහැව්වේ 4 පහර 8 කින් . නොයෙක් ආකාරයේ ලස්සන පහරවල් පිටිය වටේටම  ඔහු එල්ල කළා."

මා නැරඹු පළමු ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරඟය වුනේ 1968 ඕවල් ක්‍රීඩා පිටියේ අප පාසල් දෙක අතර පැවැත්වුණු පැවැත්වුණු 38 වන තරඟයයි . ආනන්දය වෙනුවෙන් පසුකලෙක ජාතික තලයේ ක්‍රීඩා කල  ක්‍රීඩකයන් වූ සුනිල් සහ මිත්‍ර වෙත්තමුණි දෙසොයුරන් මෙන්ම සංජීව සේනානායක වැන්නෝ  එම තරඟයට ක්‍රීඩා කළ බව මගේ මතකයේ ඇත. එම වසරේ දෙවන වරටත් නාලන්දාවේ නායකත්වය දැරුවේ අපගේ කතා නායකය වූ අනුර ද සිල්වා යි. වසර මුලදී එල් එස් දූල්වල නාලන්දයේ නායකත්වය දැරූ නමුත් ඔහුගේ අසාර්ථකත්වය නිසා අනුරට නැවත වරක් නායකත්වය ලබා දී තිබුණු අතර ඔහු යටතේ  නාලන්දාවට එම වසරේ හොඳම පාසල් කණ්ඩායම ලෙස තේරී පත් වන්නට හැකි වුණා. මීට පෙර 1967 දී පැවැත්වුණු මහා තරඟයේදී අනුර වාර්තාගත ලකුණු 99 ලබාගෙන තිබුනා.

මුලින්ම ලකුණු රැස්වීම ඇරඹු ආනන්දයේ මුල් පිතිකරුවා වුයේ අන් කිසිවෙක් නොව සුනිල් වෙත්තමුණිය, පසුකලෙක ශ්‍රීලංකාවේ  ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී  නාලන්දාවෙන් බිහිවූ නායක බන්දුල වර්ණපුර සමග ආරම්භක පිති කරුවා වශයෙන් ක්‍රීඩා කිරීමට තරම් සුනිල් වෙත්තමුණි මේ දින වල සිටම දස්කම් දක්වන්නට විය. සෙමෙන් සෙමෙන් සිය ඉනිම ගොඩනැගූ  සුනිල් ශතකයක් කරා එළඹෙමින් සිටීම අනුරට මහත් හිසරදයක් වූ බව පෙනෙන්නට විය. තරඟය කෙමෙන් සුනිල් හා අනුර අතර තරඟයක් බවට පත් වන්නට විය. එම අවස්ථාවේ අනෙක් අන්තයෙන් සුනිල්ට නොමද සහයක් දෙමින් ලකුණු රැස් කරමින් සිටියේ සංජීව සේනානායක යි. නාලන්දාවේ ඉදිරිපෙළ දඟ පන්දු යවන්නා  වූ පසුකලෙක ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා බවට ද පත්වූ ලලිත් කලුපෙරුම පවා සුනිල්ට තර්ජනයක් ඇතිකිරීමට සමත් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය .

අනුර තම පන්දුයවන්නන් සුක්ෂම ලෙස මෙහෙයවමින් පන්දු රකින්නන් නිසි පරිදි එහා මෙහා කරමින් හැකි සෑම උත්සාහයක්ම යොදමින් සිටියේය. කෙසේ නමුත් අවසානයේ සුනිල් ලකුණු 96 ලබා ගෙන ශතකය අභියස ට පැමිණ තිබුණි, ආනන්ද ක්‍රීඩා ලෝලීන් නෙත් යොමාගෙන  සිටියේ ශතකය ලබා ගැනීම සඳහා සුනිල් ගේ මීළඟ පහර කෙබඳු එකක විය හැකිද යන්න යි. වමතින් දඟ පන්දු යවන අනුර නැවත වරක් පන්දු යැවීමට තීරණය කළේය. අනුර පිතිකරුවෙකු ලෙස දකුණතින් පිත්ත හැසිරුවත් පන්දුයැවීම සිදු කලේ වමතින් වීම විශේෂත්වයක් විය. ඒ වන විට මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි කණ්ඩායමේ දක්ෂතම පන්දු රකින්නා වූ ලෙස්ලි නාරන්ගොඩව ඩීප් මිද්විකට් හි ස්ථාන ගත කළේය. අනුරගේ මී ළඟ පන්දුවට සුනිල් ඉදිරියට විත් වැරෙන් පහරක් එල්ල කළේය, ආනන්ද ක්‍රීඩාගාරය ප්‍රීති ගෝෂාවෙන් ගුගුරා ගියේය. නමුත් නාරංගොඩ ගේ දෑස් තමා වෙතට ඉතා ඉහලින් ඇදී එන පන්දුව වෙතම එල්ල වී තිබුණි. නියත වශයෙන් හයේ පහරක් වන්නට තිබු පන්දුවට ඔහුගේ දෙඅතලෙන් මිදී පැන යාමට නොහැකි විය. ප්‍රීති ගෝෂා හඬ වඩාත් තියුනුව ඇසෙන්නට විය, නමුත් මෙවර ඒ නාලන්දා කුඩාරම වෙතිනි. පිටිය මැදට දෑස යොමුකළ අපට දකින්නට ලැබුනේ අනුර විකට්ටුව අසලම බිම හිඳ ගන්නා අකරයයි. කණ්ඩායම මුහුණ දුන් දරුණුතම තර්ජනයෙන් මිදුණු බව හඟවන්නාක් මෙනි. සෙසු ක්‍රීඩකයින් ඔහු වටා රොක්වෙමින් සිය සතුට පල කරන්නට විය.  

එම තරඟයේ මා මතකයේ රැඳුනු  අනෙක් විශේෂ අවස්ථාව නම් ලකුණු 83 ලබා සිටි සංජීව සේනානායකව දවා ගත් අකාරය යි. සංජීව තවත් ලකුණක් කරා වේගයෙන් දිව යමින් සිටියේය , කවර් පොයින්ට්  කලාපයේ පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා  පන්දුව රැගෙන කෙලින්ම විකට්ටුවට යොමුකරමින් ඔහුව දවා  ගන්නට සමත් විය. විශේෂත්වය නම් කවර් පොයින්ට්හි සිට පෙනෙන තනි විකට්ටුව වෙත තම එල්ලය සැනින් ගෙන පන්දුව යොමුකර විකට් අතර දිවීමේ ශුරයෙකු වූ සංජීව සේනානයකව දවා ගත්තේද අන් කිසිවකු නොව අනුර ද සිල්වා වීම යි  .

1967 කණ්ඩායමේ නායකත්වය දරමින් දස්කම් දැක්වූ අනුර ක්‍රීඩා වාරයකදී පළමු වරට ලකුණු 1000 පසු කල ක්‍රීඩකයා බවට වාර්තා පොතට එක්වී තිබුණු අතර ඔහුට 1968දී ද එම කඩ ඉම පසු කරන්නට හැකි විය. 1968 වසරේදී අනුරගේ පිත්තෙන් ශතක 5ක් වාර්තාවී තිබුණ අතර 1967 මෙන්ම 1968 වර්ෂයේ ද හොඳම පාසල් ක්‍රීඩකයා මෙන්ම හොඳම පිතිකරුවාට ලැබෙන කුසලානයද දිනා ගන්නට ඔහු සමත් වී තිබින.

ක්‍රීඩා පිටියේ තුන් ඉරියව්වේම මෙවන් සුවිශේෂ දස්කම් පෑ අනුර වැඩි කලක් නොගොස්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.  කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (SSC) නියෝජනය කරමින් ද්‍රවිඩ ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල තම පළමු තරඟයේදීම  ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අනුර පහුණු කරු එෆ් සී ද සේරම්ගේ දැඩි විනයානුකුල ප්‍රතිපත්තිය නිසා ඇතිවූ විරසකයක් නිසා ඉන් ඉවත් වූ බව වාර්තා වන අතර ක්‍රිකට් ක්‍රීඩාව ආර්ථික වශයෙන් එතරම් ආකර්ශනීය ක්‍රීඩාවක් නොවුණු ඒ වකවානුවේ, අම්බලන්ගොඩ සිය පියාගේ ව්‍යාපාරික කටයුතුවලට හවුල් වීම වඩා යෝග්‍ය යයි ඔහු සිතන්නට ඇත. එවක ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා නොතිබුණද ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන්නට හැකියාව තිබු තවත් ක්‍රීඩකයෙකුගේ සේවය එලෙස අප රටට අහිමි විය. 2016 දී පිලිකා රෝගයට ගොදුරු වී අනුර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67ක් විය. එම අභාවය පිලිබඳ ඔහුගේ පුහුණු කරු නෙල්සන් මෙන්ඩිස් මහතා ඉංග්‍රීසි පුවත්පතකට කල ප්‍රකාශයක සඳහන් වූයේ අනුර ද සිල්වා ලංකාවේ ගාර්ෆිල්ඩ් සෝබස් විය හැකිව තිබුනු බව යි .


No comments:

Post a Comment

පැරඩයිස් | PARADISE

  ඕස්ට් ‍ රේලියාවේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී හා ප් ‍ රශ්ණ කිරීමේදී අනුගමනය කරන මෘදු ක් ‍ රියා පටිපාටිය ගැන කතා බහක යෙදුනු...