Thursday, September 22, 2016

රූපයෙන් ඔබ්බට: යථාර්ථය විනිවිද …..

ඇල්බට් අයින්ස්ටයින් දිනක් සිය මිතුරු ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥ නීල්ස් බෝර් සමග එළිමහනේ ඇවිදින විටදී  ඔහුගෙන් ප්‍රශ්ණ කරනවා , "ඔබ ඇත්තටම හිතනවාද අප සඳ දෙස බැලුවොත් මිස එය එහි නැති බව?" ඊට බෝර් ගේ පිළිතුර වුයේ , "හොඳයි ඔබට ඔප්පු කරන්න පුළුවන්ද එය එසේ නොවේය කියා , අප දෙස බලන්නේ නැතිවිට සඳ එතන ඇතැයි කියා, මම හිතන්නේ නැහැ ඔබට පුළුවන් වේවි කියා.'

කොන්ටම් භෞතිකවාදය අනුව ප්‍රකාශිත ඇතැම් පරස්පර න්‍යායන් අයින්ස්ටයින් පවා මවිතයට පත් කළා.

නුතන විද්‍යාව හා විශ්ව යථාර්ථය 

කොන්ටම් යාන්ත්‍රික විද්‍යාව තුලින් අපගේ පරිසරය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කර ගත හැකි ආකාරය පැහැදිලි කිරීම සඳහා පසුගිය ශතවර්ෂයේ මුල පටන් කොන්ටම් භෞතික විද්‍යාඥයින්ගේ අවධානය භෞතික පදාර්ථයන් කෙරෙහි යොමු වී තිබෙනවා.  සමහරුන්ගේ මතය වුයේ භෞතික වස්තූන් අප ඒ දෙස බලු විට පමණක් පෙනෙන්නට තිබී අප අහක බැලූ විට අතුරුදහන් වන බවත්, ඇතැම් විට ඒවා කොහෙත්ම භෞතික ස්වභාවයෙන් නොපවතින බවත්ය.  

සිය ග්‍රෑන්ඩ් ඩිසයින් (Grand Design) නම් වූ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන විද්‍යාඥ ස්ටීව් හෝකින්ස්, යථාර්ථය පිලිබඳ සිය අදහස් භෞතික විද්‍යාවේ රූපකයන් (Models) පදනම් කර ගනිමින් ඉදිරිපත්  කරනවා . කාමරයක මැද දකින්නට ඇති ටීපෝවක් එය දකින අය කාමරයෙන් ඉවත් වූ පසුවත් ඒ ලෙසම පවතිනවාද කියා ඔහු ප්‍රශ්න කරනවා.

ඔබ කොහොමද දන්නේ ඒ ටීපෝව ඔබ කාමරයෙන් ඉවත් වූ පසුත් පවතිනවා කියා? එය අහසට නැගී ජනේලයකින් එලියට යනවා විය හැකිද? නැවත ඔබ කාමරයට පැමිණෙන්නට පෙර සමහර විට එය අභ්‍යවකාශ යානයක් කරා ගමන් ගමන් කරනවා ඇතිද? එහෙමත් නැතිනම් සඳ වෙත පියාසර කරනවා ඇතිද? සම්මතයට අනුව මෙය සිදු නොවිය හැකි දෙයක් හැටියට පෙනුනත් අපට ඒ අදහස ලෙහෙසියෙන් බැහැර කරන්න පුළුවන් කමක් නෑ .[1]

“පහසුවෙන්ම අනුමාන කල හැකි දෙය නම් අප කාමරයේ නැති විටත් ටීපෝව එහි පවතින බවයි, සම්මතයට සමීප හා වඩාත් ගැලපෙන අදහස මෙයයි.  මෙසේ  විශ්වයේ ක්‍රියාකාරිත්වය අප සිතන ආකාරයට වඩාත්ම ගැලපෙන රූපකයන් තුලින් නිර්මාණය කර ඉදිරිපත් කිරීමයි අප විද්‍යාවෙන් කරන්නේ.”

යථාර්ථය යනු අපට වටහා ගත හැකි වඩාත් ගැලපෙන රූපකය (model) මිස සැබෑවටම පවතින දෙය නොවේ.   

වසර ගණනාවක සිට විද්‍යාඥයින් පදාර්ථයන්ගේ සංයුතිය පිලිබඳ පර්යේෂණයන්වල නිරත වී සිටියද යථාර්ථයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත නොහැකි වී ඇත්තේ ඔවුන් පිළිතුරු බාහිරින්ම අපේක්ෂා කරමින් සිටින බැවින් බව පෙනී යයි. මේ වන විට කොන්ටම් භෞතික විද්‍යාඥයන්ට අනුපරමාණුවල සංයුතිය පිළිබඳව අනාවැකි පැවසීමට හැකි වී තිබෙනවා. 1960දී පමණ ඔවුන් ප්‍රෝටෝන (අනුපරමාණු) සැදී අතැයි අනුමාන කරන ක්වාර්ක් නමින් හඳුන්වන ඉතා කුඩා අංශු ස්වභාවයක පැවතීම පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ නමුත් එම යෝජනාවට අනුව ප්‍රකාශ වුනේ තනිව පවතින අංශුවක් දැක ගැනීමට කිසි සේත් හැකි නොවන බවකි. එසේ නම් ප්‍රශ්නය වනුයේ දකින්නට නොහැකිනම් පවතින බව කෙසේ පිළිගත හැකිද යන්නයි.

යථාර්ථයට පදනම් වන විස්තර ගබඩාවී ඇති ස්ථාන සොයමින් වෙහෙසුණු භෞතික විද්‍යාඥ ලෙනාඩ් සස්කයින්ඩ්  ඒ සඳහා හොලෝ ග්‍රැෆික්  මුලධර්මය (Holographic Principle) ඉදිරිපත්  කලා. ඔහු පැවසූයේ යථාර්ථය හොලෝග්‍රෑමයක් ලෙස සැලකුවහොත් අපගේ ත්‍රිමාන ලෝකය හුදෙක් බාහිර විශ්වයේ ගබඩා වී ඇති තොරතුරු වෙතින් ප්‍රක්ෂේපනය වන මායාවක් බවයි[2]

භෞතික විද්‍යාඥ ඇන්ටන් ෂෙලින්ගර් වැනි අය අන්ශුන්ගේ තවත් වැදගත් හැසිරීම් තත්වයක් පිලිබඳ අදහසක් ද්විත්ව තීරු (Double Slit) පර්යේෂණය මගින් ඉදිරිපත් කලා. ඒ එමගින් ඔවුන් පෙන්වා දුන්නේ පරමාණු සහ අංශු අප සිතනවාට වඩා වඩා වෙනස් අකාරයට හැසිරෙන බවයි. මේ නිසා ඔවුන් මෙම ඉතා කුඩා අංශුන් එකම අවස්ථාවකදී විවිධ තැන්වල පැවතිය හැකි බව විශ්වාස කලා. එසේ වුවත් මෙම අංශුන් දෙස බලා සිටින විටදී ඒවා ඔවුන් මුලින් බලාපොරොත්තු වූ අකාරයට හැසිරෙමින්  විද්‍යාඥයින් විමතියට පත්කලා. මෙම අසාමාන්‍ය හැසිරීම නිසා විද්‍යාඥයින්ට එකඟ වන්න සිදු වුනා හුදෙක් ඒ දෙස බලා සිටීමෙන් පමණක් අපට යථාර්ථය හැසිරෙන ආකාරය වෙනස් කිරීමට හැකිය කියා.



ද්විත්ව තීරු පර්යේෂණය :පෝටෝන අංශු එකින් එක විදින විට ඉදිරියෙන් ඇති කවුළු තීරු දෙකට අනුරූපව ඒ පිටුපස ඇති තිරයේ රාමු  දෙකක ආකාරයට සලකුණු ඇති වෙතයි බලාපොරොත්තු වුවද ඔවුනට සැබෑවටම රාමු තුනක හෝ ඊටත් වැඩි ගනනක සලකුණු දැක ගත හැකි වුනා. නමුත් කවුළු ඉදිරියේ නිරීකෂණ උපකරණ (කැමරා) සවිකර නැවත අංශු විදින විට සලකුණු රාමු දෙකකට පමණක් සීමා වන බව ඔවුනට දැක ගත හැකි උනා.
උපුටා ගැනීම : New Scientist

අංශුන් මෙසේ එක මොහොතකදී කිහිප තැනක පැවතීමේ හැකියාව ගැන පැහැදිලි කරමින් තාරකා විද්යාඥ මැක්ස් ටෙඩ්මාක් සමාන්තර විශ්වයන්ගේ පැවතීම ගැන අදහස් පල කලා. පසුව ඔහු විශ්ව යථාර්ථය ගණිතමය සමීකරණ  හරහා විස්තර කිරීමට හැකි බවටද අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ මුළු විශ්වයම යෝධ ගණිතමය ආකෘතියක් ලෙස සැලකිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ ආකාරයට කොන්ටම් යාන්ත්‍රණ විද්‍යාවෙන් ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාව හා ඒ පිලිබඳ අනාවැකි කීමට සමත් වුවත් කිසිවෙක් එය හොඳින් අවබෝධ කරගෙන නැති බවට විද්‍යාඥයින් එකඟවන බවක් පෙනෙනවා මේ පිළිබඳව ස්ටීවන් හෝකින්ස් පවසන්නේ අප දන්නා දෙය ඉතා සීමිත බවයි.

විද්‍යාඥයින්ගේ මෙම නිරීක්ෂණ වල මුලික දෝෂය ලෙස දකින්නට ඇත්තේ බාහිර ඇත්තෙන්ම පවතින තත්වයන් වෙත අවධානය යොමු කරනවා වෙනුවට ඇස, කන, නාසය  ආදී ඉන්ද්‍රියයන් මගින් තනා දෙන රූප කෙරෙහිම පමණක් සිත යොමු කිරීමයි. ඔවුන්  පිළිගන්නා ආකාරයට අප දකින්නේ බාහිර පවතින දෙයම වුවත් සත්‍ය වශයෙන් නම් අප දකින්නේ හේතුන් නිසා සකස්වීමෙන් අධ්‍යාත්මිකව හමුවන ඵලයක් පමණි . 
ගසත් , පොළොවත් , හිරු එළියත් ඇති විට සෙවනැල්ලක් ඇති වේ , එසේම ඇසත් , රූපයත් චක්ඛු විඥානයත් එකතු වීමෙන් රූපය ලෙස නැවත සකස් කරගන්නා සංඥාවක්  පමණක් සිතට හමුවේ.  අප දකින සංඥාවට සිතින් එකතු කරගන්නා විස්තර සහිතව සකස් කරගන්නාවූ රූපයක් (සංස්කාරයක්) බාහිර පවතින දෙයක් ලෙස පිළිගත් පසු ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් පලක් නොවේ , ඒ වන විට දෝෂය (මෝහය) හට ගෙන අවසන් බැවිනි. අශ්වයා පිටව ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවෙනා සේය.

බෞද්ධ දැක්ම 

බෞද්ධ ඉගැන්වීමට අනුව අප ආයතනයන්ට ගෝචර වන බාහිර දේවල් ඒ ආකාරයටම පවතින දේවල් හැටියට පිළිගන්නේ නැත, ඉන්ද්‍රියයන්ගෙන් දකින, අහන දේවල් හඳුනා ගන්නේ සිතින් ඒවා අර්ථ ගන්වන අකාරයටයි. ස්වභාවයෙන්ම සිදුවන්නේ ආයතන හය හරහා ලැබෙන සංඥා වලට අනුව, දකින, අහන, විඳින රූප අප සිතින් සකස් කරගනීමකුයි (සංස්කාර) . රූපයනට වහල් වුන ලෝකයා විශ්වාස කරන්නේ අප දකින දේ , දැකීමෙන් පස්සේදිත් නැතිනම් අප ඒ දෙස නොබලන විටත් පවතිනවාය  කියා. අප රූපය පිරිසිඳ දැක ඉන් ඔබ්බට දැකීමට නම් අවිද්‍යාව නිසා ගොඩනැගී ඇති  මෙම වැරදි දැක්ම වෙනස් කර ගත යුතුයි.  

අපගේ ඇසට හමුවන හැඩතල හා වර්ණ සටහන් බාහිර රූප හෝ එහි අඩංගු රූප කලාප වලට අයත් නොවේ. පරමාණු සකස් වී ඇති සියුම් අනු අප ඇසට හසු නොවනවා සේම රූප වල පවතින කලාප/අංශු අප ඇසට හසු නොවේ. ද්‍රව්‍ය වල වර්ණ ප්‍රභේද  උකහා ගෙන ඇසින් රූපසටහන් සහ හැඩතල නිර්මාණය කර ගැනීමකි සිදුවන්නේ. උදාහරණයක් ලෙස පොලවේ සිට බලන විට රාත්‍රී අහසේ තාරකා පිහිටා ඇති ආකාරය අනුව ඇසට නොයෙක් හැඩ සටහන් පෙනේ. එසේම ඔලිම්පික් වැනි උත්සව සංදර්ශන වලදී නොයෙක් වර්ණ වලින් සැරසුණු සරඹ ක්‍රීඩකයින් විවිධ අයුරින් පෙළගැසී සිදුකරන ක්‍රියාකාරකම් ඈත සිට දකින විට අලංකාර රූප සටහන් දැක ගත හැකිය. තවද රාත්‍රී කාලයේ ඈත සිට බලන විට නගරයක එහා මෙහා යන රථවාහන හා අලෝකමත්වූ ගොඩනැගිලි නිසා විවිධ වර්ණ හැඩතල දකින්නට ලැබේ. මෙහිදී සිදුවන්නේ එකිනෙකාට ඈතින්  පවතින  රූප කලාප වල වර්ණ සංඝටක ඇසින් ගොනුකරගනිමින් විවිධ රූප සටහන්මෝස්‌තර හා හැඩ  තල නිර්මාණය කර ගැනීමයි.[3] බුදු දහමේ ඝන සංඥාව ලෙස හැඳින්වෙන ඇසේ මෙම ක්‍රියාවලිය විපල්ලාසයක් ලෙස සැලකෙනා අතර මෙහිදී එය සමුහ ඝනය[4] ලෙස අර්ථ දැක්විය හැකිය. 

     බෙයිජින් නුවර ටෙනමන් චතුරශ්‍රයේ ක්‍රීඩකයින් රාශියක් සහභාගී වන සරඹ දර්ශනයක්
    උපුටා ගැනීම: Telegraph Media Group Limited

සමුහ ඝනය යනු කොටස් කීපයක් රාශි වී ඇති තැනක ඒකත්වයෙන් යුතු යමක් ඇතැයි යන හැඟිමයි, උදාහරණයක් ලෙස රෝද, ඇක්සල් ,චැසිය හා රථමැදිරිය ආදිය එකලස් වූ තැන දකින ගොනුව රථයක් ලෙස දැකීම. අටුවාවල මෙම  උදාහරණය කෙස්, ලොම්, හම, මස් ආදී කොටස් ඇති තැන ශරීරයක් දකින ආකාරය පැහැදිලි කිරීම සඳහා ගෙන හැර දක්වා ඇත.

     කාර්‍යබහුල නගරයක රාත්‍රී දර්ශනයක් (අන්තර්ජාලයෙන්)

ඉහත සඳහන් කල ඔලිම්පික් සරඹ නිදර්ශනයේ ක්‍රීඩකයන්ගේ එක් එක් ක්‍රියාකාරකම් අනුව ප්‍රේක්ෂකයා ඇතැම්විට දකින්නේ  සුළඟේ ලෙල දෙන කොඩියක් හෝ එවැනි විවිධාකාර වර්ණ සංකලන සහිත චලන රූප රටා පෙළකි. රාත්‍රී කාලයේ දුර සි බැලූ  විට නගරයක එහා මෙහා යන වාහනවල විදුලි ආලෝකය නිසා වර්ණවත් රූප රටා මැවෙනු දක්නට ලැබේ. මෙම සංසිද්ධිය සන්තති ඝනය ලෙස හඳුන්වා දී ඇත, ගිනි සිළුවක් හෝ විදුලි පන්දමක් වේගයෙන් කරකවන විට රවුම් වලල්ලක් දකින්නේද මේ අනුවය (උදා. පෙරහැරක ගිණි බෝල කරකැවෙන විට).

සමුහ ඝනය පහසුවෙන් තේරුම් කර ගත හැකි තවත් වැදගත් උදාහරණයකි වැලිකැට රාශි වූ තැනක වැලි ගොඩක් සේ දැකීම. 

වැලි ගොඩ උපමාව 

     වැලි ගොඩ

අපගේ සාමාන්‍ය අදහස නම් 'වැලි ගොඩක් ' ලෙස දකින රූපය  අප ඒ දෙස නොබලන විටදීත් පවතිනාවය කියායි . ලොව පිළිගත් මෙම මතය පිලිබඳ ලෝකයා සිතනවාට වඩා වෙනස් දර්ශනයකින් , විදර්ශනාත්මකව, සිතා බලා ඊට ඔබ්බෙන් පවතින යථාර්ථය හඳුනා ගත හැකි අකාරය බුදු දහම මගින් පෙන්වා දී ඇත.

මෙම දර්ශනය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා කැකිරාව ලබුනොරුව කන්ද සේනාසන වාසී කම්මට්ඨානාචාර්ය පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් ඉදිරිපත් කරන පර්යේෂණය ඉතා වැදගත් වනවා. අපි හිතමු මිනිසුන් දහස් ගණනකින් අපි ඉල්ලා සිටිනවා කියලා වැලි ගොඩකින් එක්කෙනා එක වැලි කැටය ගානේ අරන් යන්න කියලා, වැලි කැට සියල්ල ඉවත් කරගත් පසු අපිට දැන් තව දුරටත් වැලි ගොඩක් දැකගන්න ලැබෙන්නේ නෑ . කොහාටද ඒ රූපය ගියේ? කිසිවෙක් වැලි 'ගොඩ' රැගෙන ගියේ නෑ . හොඳයි අපි හිතමු අර හැම දෙනාම තම තමන් අරගෙන ගිය වැලි කැටය නැවතත් තිබුන තැනින්ම ගෙනත් තැබුවාය කියලා, දැන් අයෙත් අපිට වැලි ගොඩක් පෙනෙනවා! තවත් දෙයක්, අපි අත දික් කරලා වැලිගොඩ අල්ලන්න හැදුවත් අපිට අහු වෙන්නේ වැලි කැට මිස වැලි ගොඩක් නම් නොවේ. අප ඒ දෙස බලු විට වැලිගොඩ නම් වූ වර්ණ සටහන හා හැඩය ඇසින්ම සකස් වී චක්ඛු විඥානය හරහා අපට රූපයක් ලෙස දකින්නට ලැබෙනවා, අප අහක බැලුවිට කිසිවක් ඉතිරි නැතිවම එය නිරුද්ධ වෙනවා. ‘වැලි ගොඩ' නම් වූ සංඥාව සිත තුලම උපදින්නක් මිස බාහිර අවකාශයට හෝ වැලි කැට වලට අයත් දෙයක් නොවේ.

අවකාශයේ වැලි කැට රාශි වී ඇති සේම  එහි නොයෙක් අයුරින් රාශි වී ඇති සතර මහා ධාතුව[5] ඇසින් සකස් කර දෙන ආකාරයට වර්ණ සටහන් සහ හැඩතල ලෙස අපට දකින්නට ලැබෙනවා. මෙම 'රූප' බාහිර පවතින දේවල් නොවන නිසා අපට ස්පර්ශ කරන්න හෝ ඒවායේ  ප්‍රසන්න අප්‍රසන්න භාවය සිසිල්, උණුසුම් ගතිය ආදිය විඳින්න හැකියාවක් නෑ. ස්පර්ශ කළහොත් අපට එහි පඨවි ගතිය දැනෙනවා නමුත් එය ඇසින් දකින රූපයට අයත් දෙයක් නොවේ. මෙහිදී දැනගත යුතු වන්නේ ඇසට රූපය ගැටෙන විට ඇතිවන චක්ඛු විඥානය, එය අතින් ස්පර්ශ කිරීමේදී ඇතිවන කාය විඥානයට හාත්පසින්ම වෙනත් අත්දැකීමක් බවයි.[6]වැලි වලින් නිම කෙරෙන වැලි මාලිගා’, මුර්ති (Sand Sculpture) අදිය  පිලිබඳ මදක් සිත යොමු කිරීමෙන්  මෙම අදහස තව දුරටත් පැහැදිලි කර ගත හැක.



සතර මහා ධාතුව ඒවා පවතින අයුරින් පෙනී නොසිටින නිසා භූත නමින් හැඳින්වෙනවා . ඇසට හමුවන රූපය ධර්මයේ හඳුන්වා ඇත්තේ උපාදාය රූපය ලෙසයි, ඒ සතර මහා ධාතුව  ඇති තැන උපදින රූපය යන අර්ථයෙනි.

දහමේ දැක්වෙන ආකාරයට රූපය  තවදුරත් විස්තර කිරීම සඳහා සුදස්සන හිමියන් විසින් වතුරක වැටෙන ඡායාවක්‌ උපමාවට ගන්නවා. අප පොකුණකට එබුන විට වතුරේ පෙනෙන ඡායාව අපට අතින් ස්පර්ශ කරන්න , සිඹින්න හෝ රස විඳින්න නොහැකියි , එය හුදෙක් අපි පොකුණට එබෙන විට ඇතිවී අප අහකට ගිය විට අතුරුදන් වෙන දැකීමක් පමනක් වන නිසයි . ස්පර්ශ කරන්න අත යොමු කල විට අත වතුරේ හැපෙන අතර රස විඳීම සඳහා දිව ගෑ විට වතුරේ රසය පමණක් දැනෙනු ඇත. ගඳ සුවඳ හෝ ශබ්දයද එසේමයි, වතුරේ ගඳ සුවඳ පමණක් දැනගත හැකි අතර වතුර කැළඹෙන ශබ්දය වැනිදේ පමණක් කනට දැනෙනු ඇත.

    වතුරේ පතිත වූ ඡයාවක් (අන්තර්ජාලයෙන්)

ඇසින් දකින රූපය තවදුරටත් විග්‍රහ කරන තෙරුන්වහන්සේ එය බිතුසිතුවමකට සම කරමින් අප සිතුවමේ දකින මිනිසුන්, ගොඩනැගිලි, මල් ආදිය සහිත වටපිටාවන් සත්‍ය වශයෙන්ම බිත්තියේ තැවරූ වර්ණ සටහන් පමණක් වන බව පෙන්වා දෙනවා . මෙම උපමාවේදීද එවන් කිසියම් රූපයක් , උදා. මලක්  අතින් සප්ර්ශ  කිරීමට හැකි නොවේ, යමෙක් ඒ වෙතට අත දිගු කල විට අත  බිත්තියේ හැපෙපෙනවා මිස මලක් ස්පර්ශ නොවේ. සත්‍ය වශයෙන් පවතින දේ ලෙස සිතුවමේ දකින දර්ශනය හුදෙක් අප මනසින්ම ගොඩනගාගත් සංකල්පයන් පමණකි. ඉන්ද්‍රියන් හරහා අප දකින, අහන දේවල සාරයක් නොමැති බව වදාරා ඇති භාග්‍යවතුන් වහන්සේ, රූපය පෙන පිඬුවකටද සංඥාව මිරිඟුවකටද, විඥානය මායාවකටද සම කර ඇත. අපගේ කෙලෙස් සහ ආශ්‍රව වලට අනුරූපව පුද්ගලයින්, දේවල් හා කාරණා ලෙස වටිනාකම් එකතු කරමින් අප ඒවා වැළඳ ගන්නා බව පැහැදිලි වේ.

අප එදිනෙදා ජීවිතයේදී දකින දේවලත් ඉහත උපමාවන්ගෙන් පැහැදිලි කල අත්දකීමවලත් අතර කිසිදු වෙනසක් නැති බව කියැවේ. අපට ඉන්ද්‍රියන් හරහා හමුවන්නේ වර්ණ සටහන් සහ හැඩ තල වුවත් ඒවා වසාගෙන ඉදිරිපත් වන කෙලෙස් සහ ආශ්‍රව විසින් තාත්වික බවක්  මවා පෙන්ව යි. අප සිතුවිලි හරහා ගොඩනගාගත් පුද්ගලයින් හා දේවල් වලින් ලෝකයක් ගොඩනගා  ගන්නවා පමණක් නොව අප ඒවා දෙස බැලුවත් නොබැලුවත් නිත්‍ය ලෙස බාහිරව පවතින දේ ලෙස පිළිගෙන ඇත. බුදුන්ගේ දේශනාවට අනුව පුද්ගලයින්ගේ කාමය පවතින්නේ ලෝකයේ අරමුණු ලෙස හමුවන දේවල නොව ඔවුන්ගේ රාගාශ්‍රිත සිතුවිලි වල බවයි.[7]

වඩාත් විශ්මය ජනක කරුණ වී ඇත්තේ එකිනෙකාට වෙන්ව හුදකලාව සිදුවන අපගේ ඉන්ද්‍රියමය අත්දැකීම් එකිනෙකට ගැට ගසා ගැනීමයි, උදා . ඇසින් දකින දෙය වෙනත් ආයතනයක් හරහා විඳින (කනින් අසන, කයට ස්පර්ශ වන ආදී ) දෙයකට ගැටගසා ගැනීම සාමාන්‍ය ස්වාභාවයයි.

එකිනෙකට හුදකලාව සිදු වන ආයතනයන්ගේ අත්දැකීම්  ඒ ආකාරයට දැකීම ඉන්ද්‍රිය කුසලය ලෙස දහමේ හඳුන්වා දී ඇති අතර රූපය පිරිසිඳ දැකීම පිණිස එය මුලික වේ. ඇසින් යමක් දුටු සැනින්ම කිසිවක් ඉතිරි නැතිව එම අත්දැකීම නිරුද්ධ වන නමුත් ඒ හා සමග ඇතිවන වෙනත් අත්දැකීමක්, උදා. ශබ්දයක්, ඒ කලින් දුටු දෙයට ගැට ගැසීමට අප යුහුසුළු වනු ඇත. මේ ආකාරයට අප සිතින් සිතන දෙයද කලින් බාහිරින් දුටු හෝ ඇසූ දෙයක් ලෙසින් සම්බන්ධ කර ගන්නා නමුත් එය ඇත්තෙන්ම සිත මනාරම්මනයක් හා ගැටීමෙන් උපදවා ගත් සිතුවිල්ලක් පමණි. අප මනසතුල සංකලනය කර ගැනීමෙන් රඳවාගෙන් ඇති  දුටු, ඇසු, ගඳ සුවඳ දැනුණු ආදී දේ අරබයා කෙලෙස් වැඩෙන අතර ඒවා බාහිර පවතින දේ ලෙසට අප තව දුරටත් විශ්වාස කරමු.

මේ ලෙස ආයතන ගැට ගසා ගැනීම නිසා අප තණ්හා දැලක් නිර්මාණය කර ගන්නා ආකාරය වටහා ගැනීමට පහසු පරීක්ෂණයක් සුදස්සන හිමියන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. පොලවේ සමාන දුරකින් වෘතාකාරව කණු හයක් සිටුවා ඒ එක් එක් කණුවේ මුදුනේ ලණුව බැගින් ගැට ගසා ඒ ඒ ලණුවල අනෙක් කෙළවර වෙනත් කණුවකට ගස ගැසූ විට රවුමේ ඇති සෑම කණුවකම සම්බන්දවන්සේ ලෙහෙසියෙන්ම දැලක් නිර්මාණ වනු  පෙනේ. කණු හයෙන් අපගේ ආයතන හය නියෝජනය වන අතර ඒවාට ගැට ගැසූ ලණු එම ආයතනවලට ආවේනික ඉන්ද්‍රිය අත්දැකීම් නියෝජනය කරයි. මේ අයුරින්ම අපගේ එක් එක් ආයතන හරහා ලැබෙන අත්දැකීම් වෙනත් ආයතන වලින් ලැබෙන අත් දැකීම් වලට ගැට ගැසූ විට සිතිවිලි දැළක්  නිර්මාණය වීම නොවැලැක්විය හැකිය. සුදස්සන හිමි විසින් මෙය තණ්හා දැළ ලෙස හඳුන්වා දී ඇත. දැන් එම ලණු කැරලි වල කෙළවර ඒ ඒ ලණුවට අයත් කණු වටාම එතුවොත් අර මුලින් තැනුණු දැල අතුරුදහන් වනු පෙනේ. එමනිසා තෙරුන්වහන්සේගේ අවවාදය නම් ආයතන හරහා ලැබෙන අත්දැකීම් එකිනෙකට ගැට ගැසීමෙන් වැලකී සසරෙහි අප වෙලනා මෙම තණ්හා දැළ මුදා හරින ලෙසයි.

    තණ්හා දැළ

කෙනෙකුට ඇසුණු, ගඳ සුවඳ දැනුණු හෝ රස දැනුණු ආදී යම් ආයතනයක අත්දැකීමක් මුල් කොටගෙන බාහිර වස්තුවක් සොයා යාමට නොහැකි විය යුතුය. සරලව දක්වන්නේනම් කුංච නාදයක්  ඇසුණු පමණින් ඇතෙකු සොයා නොගිය යුතුය. සම්මත ව්‍යවහාරයට අනුව මෙය පිළිගත නොහැකි ලෙස පෙනුනද බෞද්ධ උගැන්වීම නම් මේ ආකාරයට පුර්ණ ලෙස සිදු විය යුතු ලෝක නිරෝධයකි.

ආයතනයන් හරහා විඳින අත්දැකීම්  එකිනෙකට බඳිමින් වැරදි අර්ථකන සපයා ගන්නා ආකාරයත් එහිදී  විඳින්නෙකු ගොඩනැගෙනා ආකාරයත් බුදුන් වහන්සේ විසින් හෙළිදරව් කොට ඇත. මනෝ විඥානය තුල සිදුවන මෙම සංයෝජනය සිත තුලම ආත්ම සංකල්පයක් උපදවා මමංකාරය හෙවත් මානය ඇති කරවයි. අනෙක් අතින් මේ ආකාරයට ආයතන ගැට ගැසීම නිසා බාහිර සැබෑවටම පවතින කෙනෙක් පුද්ගලයෙක් හෝ දෙයක් පිලිබඳ සංකල්ප ගොඩනගාගෙන ප්‍රතිසන්ධි ලෙස නැවත ඔවුන් හෝ ඒ දේවල් සොයා යාමට පෙළඹේ, මෙසේ සිදුවන ක්ලේෂයන් හඳුනාගත් බුදුන් වහන්සේ ආයතනයන්ගේ අත්දැකීම් එකිනෙකට නොබැඳෙන ලෙස වග බලා ගන්නා ලෙස අවවාද කලා. උන්වහන්සේ බාහිය දාරුචීරිය හිමියන්ට කල දේශනාව මෙහිදී ඉතා වැදගත් වනවා,

"බාහිය, දැක්කොත් දැකීම් මාත්‍රයකින්  අවසන් වෙනවා, ඇසුවොත් ඇසීම් මාත්‍රයකින් අවසන් වෙනවා, නාසයට යමක් දැනුණොත් දැනීම් මාත්‍රයකින්  එය අවසන් වෙනවා, දිවට රසයක් දැනුණොත් දැනීම් මාත්‍රයකින්  එය අවසන් වෙනවා, කයට පහසක් දැනුණොත් දැනීම් මාත්‍රයකින්  එය අවසන් වෙනවා, සිතට යමක් සිතුණොත් සිතීම් මාත්‍රයකින්  එය අවසන් වෙනවා.

එසේ දැකීම්,ඇසීම්,ගඳ සුවඳ,රස හා පහස දැනීම්, මනසින් දැනගැනීම්  තැන අවසන්  වෙනවා නම් බාහිය  ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ එතැනින් පිටතත් නෑ. ඔබ අතරත් නෑ. ඔබ අතරත් නැත්නම්, ඔබ මෙලොවත් නෑ. පරලොවත් නෑ. ඔබ මේ සියලු දුකින් නිදහස් වෙනවා."[8]

මේ දේශනාව ඇසූ පමණින්ම බාහිය දාරුචීරිය හිමි රහත් භාවයට පැමිණි බව සුත්‍රයෙහි සඳහන් වෙනවා.

ආයතනවල අත්දැකීම් එකිනෙකට සම්බන්ධ කරගැනීමේ මානසික ක්‍රියාවලිය පිලිබඳ මෑත කාලයේ විද්‍යඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. "ආයතන මෙහෙයවා කරන පර්යේෂණයක් තුලින් අපට විමර්ශනය කරන්න පුළුවන් මොලය විසින් අපගේ පුද්ගල භාවය (ආත්මය-self) පිහිටන සීමාවන් හසුරුවන ආකාරය(New Scientist). විද්‍යාඥ අනිල් අනන්තස්වාමි මේ පර්යේෂණය පිළිබඳව ඔහුගේ පර්යේෂණ කෘතියේ මෙසේ පැහැදිලි කරනවා, “මෙම ක්‍රියාවලිය පැහැදිලි කිරීමට ඇති ලෙහෙසිම ක්‍රමය නම් නූතන මනෝවිද්‍යාව තුල ඉතා ජනප්‍රිය රබර් අතේ මායාවයි (Rubber Hand Illusion). "පරීක්ෂණය ඉතා පහසුයි, මේසයක් අසල වාඩිවී සිටින කෙනෙකුගේ අත ඔහුට නොපෙනෙන ලෙස අවරනය කර රබර් අතක් මේසය මත තබනවා . රබර් අත ඔහුට පෙනෙන සේ පිරිමදින අතර ආවරණය වූ සැබෑ අතද ආකාරයට පිරිමදිනවිට ටික වෙලාවකින් ඔහුට දැනෙන්නේ රබර් අත ඔහුගේ කියා."( රූප  සටහන බලන්න) .


 උපුටා ගැනීම: New Scientist

මෙහිදී ප්‍රකට වන කරුණ නම් පිරිමැදීම අත්දකින පුද්ගලයා කයට දැනෙන ස්පර්ශය හා ඇසට පෙනෙන දෙය (බොරු අත) හා එකිනෙක ගලපමින් තම ශරීරයේ සීමාවන් ප්‍රතිනිර්මාණය කරගැනීමට උත්සාහ කරන බවකි.

අනිල් තවදුරටත් පවසන්නේ අපගේ කායික අංගෝපාංග නිර්මාණය කරගැනීම සඳහා මනසින් නොයෙක් ආයතන එකිනෙකට සම්බන්ධ කර ගන්න බවයි,දැකීමත්, කයට දැනීමත්, ශරීරාංග වල සාපේක්ෂ පිහිටීමට අනුව මනසින් විමසනවා. එකිනෙකට පරස්පර ලෙස ලැබෙන තොරතුරු අනුව මොලයේ විසඳුම වන්නේ රබර් අතේ හිමිකාරීත්වය  පවරාගැනීමයි.”

අප විශ්වාස කරන්නේ අත්දැකීම් විඳින හෝ ලබන අපද ඇතුළුව , පුද්ගලන් , දේවල් කාරණා සහිත ලෝකයක අප උපදිනවාය කියා, නමුත් බුදුන් දේශනා කලේ අනෙකක්. ලෝකයේ සබෑ ස්වභාවය පරිසමාප්ත ලෙස දැක අවබෝධ කර ගත් උන්වහන්සේ දේශනා කරන ලද්දේ ලොවෙහි ඇත්ත ඇති සැටිය බාහිරයෙන් නොව තමා තුලින්ම, දැක ගත යුතු බවයි.

ඇස අධිපතිත්වය දරයි

 ඇස දකින්නට නොහැකි ( අනිදස්සන) එහි ක්‍රියාකාරීත්වයෙන්  පමණක් හඳුනාගත හැකි දෙයකි. සතරමහා ධාතුවෙන් සැදුනු රූපයක් ගැටෙන විට ඇස ඉපදී චක්ඛු වින්නනය ඇති වෙයි . මේ හේතූන් එක්වීමෙන් ස්පර්ශය ඇතිවී හේතුන් නිරුද්ධ වූ සැනින් ස්පර්ශයද නිරුද්ධ වේ. අප ඇස ලෙස හඳුනන්නේ ආධ්‍යාත්මික ඇසට ගෝචර වන තවත් බාහිර වස්තුවක් වන මසැසය්. මෙහිදී ඇසේ සැබෑ ක්‍රියාකාරීත්වය බාහිර මසැසට සම්බන්ධ කරගෙන අප විසින් පවතින 'ඇසක්' (උදා: මගේ ඇස ) නිර්මාණය කරගෙන ඇත.

මේ ලෙසම කන, නාසය, දිව හෝ කයද ඒවායේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හඳුනාගත හැකි නොවන නිසා ඒවා ආයතන ලෙස හඳුන්වයි, අපට දැක ගත හැකි වනුයේ බාහිර රූප පමණක් බැවිනි. ඇසෙහි කාර්‍යභාරය වර්ණ හා හැඩතල සහිත රූප තැනීමයි. උදාහරණයක් ලෙස අප සිටිනා කාමරයේ ජනෙල් වීදුරුවේ වර්ණවත් ස්ටිකරයක් ඇලවුවහොත් එම වීදුරුවට එපිටින් පෙනෙන සියලු දේ , මොහොතකට හිතමු සුදු පට රථයක් කියා, අර ස්ටිකරයේ වර්ණයෙන් පෙනෙන්ට ගනී. මෙහිදී අප දකින දෙය තීරණය කරනු ලබන්නේ එම ස්ටිකරය විසින් බව පැහැදිලි වේ. කුඩා දරුවෙක් උපතේ පටන්ම මෙවැනි වර්ණ වීදුරුවක් හරහා එලිය දකියි නම් ඔහු සිතන්නේ බාහිර ඇති සියලු දෙය අර වීදුරුවේ වර්ණයෙන් යුක්තය කියා. කිසියම් දිනයක ඔහු එම කාමරයෙන් පිටවී එලියට යන තුරු එහි ඇත්ත ස්වභාවය ඔහුට දැනගැනීමට නොලැබෙනු ඇත.

ඇස 'ඉන්ද්‍රිය' නමින් හඳුන්වන්නේ දැකීම් කෘත්‍යයේ එයට ඇති අධිපති භාවය නිසාය, දැකීමේ ක්‍රියාවලිය පාලනය කරන එය කුඩා අංශු ඒකරාශී කරමින් රූප සටහන් නිර්මාණය කරයි. ඇසේ මෙම හැකියාව එක්  එක්  පුද්ගලයා අනුවද වෙනස් වන බවත් ඔප්පු වී තිබෙනවා. උදාහරණයක් ලෙස වර්ණ අන්ධ භාවය ඇති අයට අනෙක් අය දකින හැඩ සටහන් හඳුනා ගැනීමට නොහැකි වනවා.

       වර්ණ අන්ධ භාවය පරීක්ෂා කල හැකි රූප සටහනක්
         (අන්තර්ජාලයෙන් )

ඉහත උපමාවලදී පැහැදිලි වූ ආකාරයට අප දකිනා දෙය ඇස විසින් තීරණය කරනු ලබන නිසා එවන්වූ ඇසෙහි සැබෑ ස්වරූපය විනිවිද දකිනා ඥානයකින් හඳුනා නොගන්නාතාක් කල් අපට බාහිරව පවතින රූප හමුවේ.

කලින් සාකච්ඡා කල වැලි ගොඩ සහ වතුරේ පතිත වන ඡයාව වැනි උපමා වලින්බුදු දහමේ කියැවෙන සංඛත ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය ඉතා හොඳින් පැහැදිලි වෙයි. එය නම් හේතුන් නිසා පෙර නොතිබීම හටගෙන හේතු නිරුද්ධ වන විට ඉතිරි නැතිව නිරුද්ධවන බව[9] පැහැදිලි කෙරෙන ධර්මතාවයයි. 

මේ දහමට අනුව සුදස්සන තෙරුන්ගේ අවවාදය වනුයේ, ‘ඔබ රූප පරිහරණය කරන්න හැබයි එයින් මිදී’. එය තව දුරටත් පැහැදිලි කරන උන්වහන්සේ, “මොහොතකට හිතන්න ඔබ හිස පීරා ගැනීම සඳහා කන්නාඩියේ වැටෙන ඡයාව භාවිතා කරනවා, නමුත් ඔබ අහකට යන විට එම ඡයාව තව දුරටත් එහි පවතිනවාය කියා කිසි විටකත් විශ්වාස කරන්නේ නෑ . නමුත්  බල්ලෙකු වැනි සතෙකු කණ්ණාඩියේ දකින රුපයට තවත් බල්ලෙකු යයි කියා රැවටී ඒ වෙත පනිමින් සහ බුරමින් ප්‍රතිචාර දක්වනවා. එම සතා එතනින් ඉවත් වූ පසුත් සිතන්නේ තව බල්ලෙකු කණ්ණාඩියේ ඇතැයි කියා නිසා තව දුරටත් බුරමින් සහ ඒ වෙතට දිවයමින් නොසන්සුන් වනවා.” මෙහිදී සැලකිය යුතු වැදගත් කාරණය වනුයේ කණ්ණාඩියේ රූප දකින විට එහි පතිත වන ඡයාව බාහිර පවතින දෙයක් නොවන බව දැනීමට අපට ප්‍රඥාව ඇතත් සාමාන්‍ය ජීවිතයේ අස, කන, නාසය ආදී පරිහරණය කරන විට අප තවමත් මුලාවට පත්වන බවකි.” පෙනීමේ කෘත්‍ය ආධ්‍යාත්මික ක්‍රියාවලියක් පමණක් බව විදසුන් ඇසින් බලා අප දකින්නේ බාහිරව පවතින්නක් නොව සිතින් උපදවා ගත් දෙයක් පමණක් බව වටහාගැනීමේන් සසර ගමන අවසාන කර ගැනීමට ඉවහල් වන සම්මා දිට්ථිය ඇතිකර ගත හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

රූපයෙන් ඔබ්බට

බුදුන්ගේ අවවාදය වුයේ දකිනා දේ හේතු ඵල දහම අනුව සැකසුනු නාම රූප එකතුවක් වනසේ දැක රූපය පිරිසිඳ දැකීමයි. හේතුඵල ධර්මතාවය අනුව රූපයේ ඇතිව නැතිවන බව පෙන්වාදුන් උන්වහන්සේ එහි අනිත්‍ය භාවය පසක් කර ගැනීම සඳහා ස්කන්ධයන්ගේ උදය වැය දැකිය යුතු අකාරය අවධාරණය කර ඇත. මේ ආකාරයට විදර්ශනා වැඩීමෙන් කෙනෙකුට දකිනවිට හෝ දැකීමෙන් පසු දේවල් නොපවතින බවත් හේතුන් සකස් වූ විට අවස්ථාවට පමණක් ඉපදී හේතු නිරුද්ධ වූ විට නිරුද්ධ වන බවත් ප්‍රත්‍යක්ෂ වේ.

විද්‍යාඥයින් අසීරුතාවයට පත්කළ ප්‍රශ්නය දෙස ආපසු හැරී බැලූවිට දැන් අපට ස්ථිර ලෙස පැවසිය හැක්කේ රවුම් හැඩයෙන් යුතුව අහසේ බැබලෙන සඳ එහි ඇත්තේ අප ඒ දෙස බලන විට පමණක් යන්නයි.

ඉහත සාකච්ඡා කල ලෙස ඇස රූපය කන හා ශබ්දය ආදී පිලිබඳ විමර්ශනය කල හැකි වුවත් අපගේ කෙලෙස්, අශ්‍රව සහ නීවරණ[10] නිසා ඒවායේ අනිත්‍ය භාවය ප්‍රකට කර ගැනීමට හැකියාවක් නැත. පුද්ගලභාවය ඉදිරිපත් වීමද මෙම ධර්මතාවය දැකීමට බාධාවකි. මේ නිසා දහමේ දැක්වෙන්නේ නීවරණ ධර්ම දුරු වන විට ඇත්ත ඇති සැටිය පෙනෙන  බවයි.

බුද්ධ දේශනාවට අනුව රූපය පිරිසිඳ දැක ඉන් මිදුණු විට නැවත කාම ලෝකයේ උප්පතියක් නොලබන  අනාගාමී  ඵලය දක්වා ගමන් කල හැකි බව තහවුරු කර ඇත. 

මේ සඳහා සමත හා විදර්ශනා යන භාවනා ක්‍රම දෙකම උපයෝගී කරගත යුතු බව පැවසේ. සමතය මහින් සිත සමාධි ගත කිරීමටත් විදර්ශනාව මගින් ඇත්ත ඇති සැටියට දැකීමට උපකාරී වන බවත් සඳහන්වේ. මෙම භාවනා ක්‍රම වල නිරත වීම සඳහා ගිහි ජීවිතය සම්පුර්ණයෙන් අත හැරිය යුතු නොවන අතරම සාමාන්‍ය ජීවිතක් ගත කරන අතරම පුරුදු පුහුණු කල හැකි බව පැවසෙනවා. ශීලයක පිහිටීමෙන් සහ ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමෙන්, රූපයෙන් මිදීම පිණිස ඇත්ත ඇති සැටියට දැකීම නැතහොත් සම්මා දිට්ඨිය උපදවා ගැනීම උපකාර වන  සමාධිය ගොඩ නගා ගැනීමට හැකිවන අයුරු දහමේ විස්තර කර ඇත.

මෙම ක්‍රම අනුගමනය කරන තැනැත්තා ලෝකයා පරිහරණය කරන සංඥා සංස්කාර වලින් මිදී තණ්හාව දුරු කොට නැවත ඉපදීම වැලැක්විය හැකි මාර්ගයට අවතීර්ණ වනු ඇත. ලෝකයා පරිහරණය කරන සංඥාවන්ගෙන් වෙන්ව නිරෝධ සුවය අත්විඳින්නා තවදුරත් මනුෂ්‍යයෙක් , දෙවික් හෝ බ්‍රාහ්මණයකු නොව අවදි වූ අයකු (Awakened One) ලෙස හඳුන්වයි. 

(මෙම ලිපිය කලින් Beyond Form නමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරුණකි)






[1] Stephen Hawking’s Grand Design : Discovery Chanel, 2012
[2] ‘What is Reality’, BBC Horizon,2011
[3] ධර්ම දේශනා මාන්කඩවල සුදස්සන හිමි
[4] ඝන සංඥාව; සන්තති ඝනය, සමුහ ඝනය, ක්‍රියා ඝනය සහ අරම්මන ඝනය වශයෙන් සතර ආකාරවේ. මේ මගින් සංඥා , චිත්ත හා දිට්ඨි ආදී වූ තුන් ආකාර විපල්ලාසයන් උපදවමින් නිත්‍ය, සුභ, සැප, ආත්ම ලෙස සැලකෙන වැරදි හැඟීම් ඇති කරවයි.
(බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය, පුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, 2009, The Psychology & Philosophy of Buddhism, Jayasuriya W.F, 1988)
[5] පඨවි , ආපෝ , තේජෝ , වායෝ
[6] වැලි වලින් නිම කෙරෙන වැලි මාලිගා (Sand Sculpture) , මුර්ති අදිය  පිලිබඳ මදක් සිත යොමු කිරීමෙන්  මෙම අදහස තව දුරටත් පැහැදිලි කර ගත හැක
[7] නිබ්බේධික සුත්‍රය (අ.නි.)
[8] බාහිය සූත්‍රය (.නි)
[9] යන්කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං (ධම්ම චක්ක පවත්තන සූත්‍රය)
[10] පංච නීවරණ කාමරාග, පටිඝ, ටීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච හා විචිකිච්චාව ලෙස දැක්වේ

No comments:

Post a Comment

ASU

  ASU is the story about a young mother's struggle to choose between humanity and love and her selfless sacrifice, a moving story direct...