නිමිති
අප
එදිනෙදා
ජීවිතයේ
හමුවන ද්‍රව්‍ය
කාරණා හෝ පුද්ගලයින්
හඳුනා ගන්නේ ඒ ඒ අරමුණ කෙරෙහි
සිතේ රැස් කරගෙන ඇති නිමිති ඔස්සේය. මෙම නිමිති අප දැක, අසා හෝ ආග්‍රහණය කර
ඇති , රස, පහස විඳ ඇති බාහිර දේවල් සහ පුද්ගලයින් සමග නිබඳවම බැඳී පවතියි . ඒ අනුව ඇස ඉදිරිපිටට රූපයක් පැමිණි විට අප එය හඳුනා ගන්නේ පෙර ඇසින් දැක රැස් කර ගත් නිමිත්තක් උපයෝගී කර ගනිමිනි. මෙය හේතු ඵල ක්‍රියාවලියකි. බාහිර අරමුණු නිසා නිමිති හටගන්නා අතර එසේ රැස් වෙන නිමිති බාහිර අරමුණු හඳුනා ගැනීම සඳහා මුලික වෙති. මෙසේ සිදු වන හේතු ඵල ක්‍රියාවලිය නොදන්නා අවිද්‍යාව නිසා අප සිතට අරමුණුවන දේවල්, පුද්ගලයින් ආදිය බාහිර පවතින්නන් ලෙස පිළිගෙන ඒ පිළිබඳ ඇතිවන
කැමැත්ත
හෝ අකමැත්ත මත ඇලීම් ගැටීම්
ඇති කර ගනිමු.
කලා
කරුවකුගේ
නිර්මාණ
වලට සැමවිටම යොදා ගන්නේ ඉන්ද්‍රියයන් හරහා අතීතයේ සකස් කරගත් නිමිති වේ. උදාහරණයක් ලෙස වාස්තුවිද්‍යාඥයෙකු විසින් ඇතැම් ආකාරයේ නිමිති එක් රැස් කරන ගන්නා අතර
සිනමා කරුවෙකු වෙනත්
ආකාරයක නිමිති රැස් කර ගනියි, එකිනෙකාගේ විෂය
දැනුමට හා පුහුණුවට අනුකූල වන ලෙසිනි. සංගීතඥයෙකු මේ සැමට වෙනත් ආකාරයක නිමිති භාවිතා කරනු ඇත.
ඕනෑම
භාෂාවක්
එයට අයත් වචන මාලාවකින් පෝෂණය වන්නාක් සේම වාස්තුවිද්‍යාත්මක භාෂාවට ආවේනිකවූ වචන
මාලාවක් ඇත. තවද භාෂාවන් නන් වැදෑරුම් වන්නා සේ වාස්තුවිද්‍යාත්මක භාෂාවන්ද දේශීය, සංස්කෘතිමය හා කාලානුරුප ලෙස විවිධාකාර වේ . භාෂාවක එය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් කම් දැකිය හැකි සේම වර්ණ, රටා, ද්‍රව්‍ය (colour,
texture , material) ලෙස
නන් වැදෑරුම් වචන මලාවලින් පෝෂිත වාස්තුවිද්‍යාත්මක භාෂාවේ භාවිතාවේ ද එක් එක් නිර්මාණ කරුවා ගේ රුචි අරුචි කම් අනුව වෙනස්කම් දැකිය හැක.
වාස්තුවිද්‍යාව
යනු මුලික වශයෙන් අවකාශ හැසිරවීම සහ නිර්මාණය කිරීමයි. වාස්තුවිද්‍යාඥයාගේ මනස තුල
උපදින වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඔහුගේ විෂය දැනුම හා කුසලතාවය අනුව විකාශනය වේ. ඔහු විසින් මනසින් උපදවා ගොඩනගන සැකසුම් භෞතිකව ගොඩනැගීම සඳහා සැලසුම් ආකාරයෙන් ඉදිරිපත් කරයි. මේ අනුව වාස්තුවිද්‍යාඥයෙකු යනු හුදෙක්
භෞතික නිර්මාණකරණය සඳහා
මනසින් නිර්මාණ සකස් කරන්නෙකු ලෙස හැඳින්විය හැක.
වාස්තුවිද්‍යාත්මක
නිර්මාණ ප්‍රකාශන
මෙසේ සකස් කර ගත් සියල්ල පදනම් වී ඇත්තේ
ඔහු හෝ ඇය විසින් තම වෘත්තීමය
පුහුණුව හා පළපුරුද්ද ඔස්සේ රැස්කර
ගත් නිමිති
මත බව
පෙනෙන්නට ඇත. නවකථා රචකයෙකුගේ විඥානය වචන මුලික වූ භාෂාවකින් සන්නද්ධ වී ඇති සේම වාස්තුවිද්‍යාඥයාගේ විඥානය එම වෘත්තීයට සුවිශේෂවූ භාෂාවකින් සන්නද්ධ වී ඇත. ඔහුගේ භාෂාව නිර්මාණකරණයේදී අවශ්‍යය වූ
විට ක්ෂණිකව යොදා ගත හැකි ආකාරයට ගොනු වී ඇති අවකාශමය සංකල්ප වලින් සමන්විත වී ඇත. අවකාශය හසුරුවන රටාව එම නිර්මාණවල ආකෘතිය (form) නිර්ණය කරනු ලබන අතර ද්‍රව්‍ය, වර්ණ ආදිය භාවිතා කරන පිළිවෙල අනුව ඒවායේ අලංකරණය සිදුවේ, ලේඛකයෙකු නොයෙක් වචන හා වාක්‍ය
ඛණ්ඩ හසුරුවමින් සිදු කරන පබැඳුමක් සේය.
රූපය
ඉන්ද්‍රීය අත්දැකීමක් සඳහා කාරණා තුනක් එකතු විය යුතුය, උදාහරණයක් ලෙස , ඇසත්, රූපයත් චක්කු (ඇසේ) විඥානයත් එකතු වූ විට චක්කු සම්පස්සය ඇතිවී දැකීමක් ඇතිවේ. ඒ අනුව අප අත්විඳින්නේ කාරනා සම්මිශ්‍රණයක ඵලයක් එසේ නැතිනම් බාහිර ඇති දේවල පිළිබිඹුවක් (image) හෝ සටහනකි . මෙම
පිළිබිඹුව නැතහොත් රූප සටහන නොහඳුනන දෙයක් වන අතර ඇසින් දුටු රූපයක් ලෙස සැලකෙන්නේ
අතීතයේ ලැබූ ඉන්ද්‍රීය අත්දැකීම් ඇසුරෙන් සිත තුල තැන්පත් වී ඇති නිමිත්තක් ඇසුරු
කොට ගෙන එය හඳුනා ගත විටයි.
බෞද්ධ ඉගැන්වීමට අනුව රූපය යනු සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින දේ ය. සතර
මහා ධාතු අවකාශය තුල රාශි වී ඇති ආකාරය අනුව අපට නොයෙක් හැඩ සටහන් හා වර්ණ දකින්නට ලැබේ. සතරැස්, රවුම් ගෝලාකාර සහ රතු, කහ නිල් ආදී වශයෙනි. ධර්මයේ දක්වා ඇති ආකාරයට ඇසට හමුවන්නේ උපාදාය රූප නැතහොත් සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින රූපයන්ය.
මෙම
'රූප' බාහිර ව පවතින දේවල් නොවන නිසා අපට
ස්පර්ශ කිරීමට හෝ ඒවායේ ප්‍රසන්න, අප්‍රසන්න භාවය , සිසිල්,
උණුසුම් ගතිය ආදිය විඳින්න හැකියාවක් නැත. ස්පර්ශ කළහොත් අපට බාහිර ධාතුවේ පඨවි ගතිය දැනුනත් එය ඇසින් දකින රූපයට
අයත් දෙයක් නොවේ. මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ ඇසට
රූපය ගැටෙන විට ඇතිවන චක්ඛු විඥානය, එය අතින් ස්පර්ශ
කිරීමේදී ඇතිවන කාය විඥානයට හාත්පසින්ම වෙනත් අත්දැකීමක් වන බවයි.
ඇසින් දකින රූපය බිතුසිතුවමකට සම කර ඇත. අප සිතුවමේ දකින මිනිසුන්, ගොඩනැගිලි, මල් ආදිය සහිත වටපිටාවන් සැබැවින්ම
බිත්තියේ තැවරූ වර්ණ සටහන් පමණක් වන බව රහසක් නොවේ. එවන් කිසියම් රූපයක්, උදා. මලක් අතින් ස්පර්ශ කිරීමට හැකියාවක් නැත, යමෙක් ඒ වෙතට අත දිගු කල විට අත බිත්තියේ හැපෙනවා මිස මලක් ස්පර්ශ නොවේ. සත්‍යවශයෙන්ම පවතින දේ ලෙස සිතුවමේ දකින
දර්ශනය හුදෙක් අප මනසින්ම ගොඩනගාගත් සංකල්පයන් පමණකි.
අප ශබ්ද රූප හඳුනාගන්නේද මේ ආකරයෙන්මය උදාහරණයක් ලෙස අප සවන් දෙන්නේ ශබ්ද ස්වර රාශියක් යම් කිසි රටාවකට සැකසූ
විට ඇසෙන තනුවකට වුවත් අප සැබවින්ම සංගීතය ලෙස රස විඳින්නේ අප
කලින් අසා ඇති සංගීත නිමිත්තක් ඇසුරු කර ගෙනයි. සංගීතඥයින් තම නිර්මාණ කරන්නේ කනට ඇසෙන ස්වර ආශ්‍රයෙන්
අසන්නාට තමා කලින් අසා ඇති නිමිත්තක්
ඔස්සේ ගීතයක් ප්‍රතිනිර්මාණය කර ගෙන රස විඳ ගත හැකි අකාරයටයි. ඇසෙන සංගීතය
තමා කලින් අසා රස විඳ ඇති සංගීත නිමිත්තකට සසඳා ගත හැකි විට අසන්නා එයට කැමති වනු
ඇත. ස්වර නිමිති භාවිතය සඳහා ආසන්නම උදාහරණය රාගධාරී සංගීතයයි
සියලු සකස්කරගැනීම් (සංස්කාර) අනිත්‍යය
භෞතිකව ගොඩනැගීම සඳහා , උදා. නිවසක් ගොඩ නැගීමට, සතර මහා ධාතුන් අවකාශයේ රාශි කරනු ලබන්නේ වාස්තුවිද්‍යාඥයා විසින් සම්පාදනය කරන සංකල්පමය රූප සටහනට (සැලසුමට)
අනුවය.
ධාතුන්
ඒකරාශි වීමෙන් බාහිරව ගොඩ නැගුනු රුපය මද්‍යස්ථ (neutral) වුවක් වුවත් නිවසක් යනුවෙන් අපේ මනසේ
ගොඩනැගුනු සංකල්පය ඒ මත පතිත කිරීම නිසා එය නිවසක් (හෝ
යම් විශේෂ ගොඩනැගිල්ලක්) ලෙස
ජීවය ලබයි. ඒ
අනුව එය කාම වස්තුවක් ලෙස පරිහරණය කල හැකි දෙයක් බවට පත්වේ.
රූපය පිණිස
රූපය
වැඩ නිමාවූ ගොඩනැගිල්ල දකින නිර්මාණ ශිල්පියාට තමා ගේ සිතේ උපන් රූපය සිහිකර ගෙන තමා පෙර සංකල්පමය වශයෙන් ගොඩනගාගත් අයුරින්ම විඳීමට හැකියාවක් ඇත. ගොඩනැගිල්ල පාවිච්චි කරන හෝ එය දකින ඕනෑම කෙනෙකුටද එය ඒ ආකාරයෙන්ම ඇසුරු කල හැකි වුවද ඒ එක් එක් පුද්ගලයාගේ හැඟීම් පරාසයන්ට සීමා වේ.
සිනමා
කරුවකු,
වාස්තුවිද්යාඥයෙකු , ලේඛකයෙකු , සංගීතඥයෙකු වැනි කුමන තාරාතිරමක
පුද්ගලයෙකු වුවත්, බාහිර දේ හඳුනාගන්නේ මේ අකාරයටයි. බෞද්ධ ඉගැන්වීමට අනුව බලන විට අපගේ සිත ඉන්ද්‍රියයන් හරහා ලැබෙන අරමුණු හඳුනාගැනීම සඳහා ක්‍රියා කරන්නේ කළා කරුවකු නිර්මාණයක යෙදෙන අකාරයට යයි හැඟේ. මේ සඳහා අපගේ මනස උපයෝගී කර ගන්නේ අතීතයේ රැස් කර ගත් නිමිති වනු ඇත. දහමේ මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ සංස්කාර (සකස් කිරීම) ලෙස වන අතර නිමිති යනු ඒවායේ ඵලයන්ය. මෙම නිමිති නැවත සංස්කාර (සකස්) කිරීම සඳහා ඉදිරිපත් වේ. සත්‍ය නම් අප කැමති හෝ අකමැති ලෙස පරිහරණය කරන්නේ බාහිර පවතිනවා යයි සිතන දේ නොව අපගේම මනසේ උපදින සංකල්පයන් පමණක් බව බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. කජ්ජනීය සූත්‍රයේ මෙය පැහැදිලි කරන භාග්‍යවතුන්වහන්සේ, 'රුපං රුපත්තාය සංඛතන් අභිසංරෝති සංඛාරං ' යනුවෙන් දේශනා කර ඇත. ඉන් අදහස් වන්නේ රුපය පිණිස රූපය නිර්මාණය කරගන්නා බවය.
අනිත්‍ය තේරුම් ගැනීම යනු අද බොහෝ ප්‍රකටව පිළිගන්නා ආකාරයට පවතින දෙයක අනිත්‍ය දැකීම නොව, බුදුන් වහන්සේ
පෙන්වා දුන් ආකාරයට අප
දකින අහන දේ හුදෙක් හේතුන් නිසා හටගෙන හේතු නැතිවන විට නිරුද්ධවන සංඛ්ත ධර්මතාවයන්
පමණක් බව ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීමයි. මේ අනුව මෙනෙහි කිරීමෙන් සංස්කාර දුක පිළිබඳව කලකිරීමටත්
එමගින් විමුක්තිය සාක්ෂාත් කරගැනීමටත් හැකිවේ.
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
- ධම්මපදය -277
සකස්කරගැනීම්
(සංස්කාර) දුක ගෙන ඒමට හේතුවේ
රූප ලෙස සකස්කරගන්නා ස්කන්ධයන් ස්වභාවිකව ජරාවට, දිරීමට හා විනාශයට යටත්ය.එනමුත් මානසික සංකල්ප අනුව තැනෙන සංස්කාර නිර්මාපකයාගේ, නරඹන්නාගේ හා භාවිතා කරන්නාගේ සිතේ නොනැසී පවතී. මේ නිසා
ඉහත උදාහරණයට ගත් නිවස හෝ ගොඩනැගිල්ල එසේත් නැතිනම් ගෘහ භාණ්ඩයක් හෝ පිළිමයක් ලෙස බාහිර ස්කන්ධ අරබයා නමුත් ඉන් වෙන්ව මනසින් නිර්මාණය කරගත් දේ දිරායාම හෝ කැඩී බිඳී යාම නිසා ඔවුනට දුක ඇති වෙයි.
යම්කිසි
විධියකින් මෙම නිවස ගංවතුරකින් විනාශයට පත් වුවහොත් අවසානයේ ඉතිරි වන්නේ සුන් බුන්
ගොඩක් පමණි. දැන්
කිසිවෙකුට කලින් තිබු නිවස (රූපය) හඳුනාගැනීමට නොහැක, ඇත්තේ ගොඩනැගිල්ලේ සුන් බුන් ගොඩක් පමණක්
නිසාවෙනි. බාහිර
ඉතිරිවී ඇති සුන්බුන් සමග තම
මනසේ වූ සංකල්පමය රුපය ගලපාගනීමට නොහැකි වීම නිසා දැන් නිවස හිමියාට සහ එයට
සම්බන්ධ වූවනට දුක ගෙන දෙයි.
ඔවුන්
තවදුරටත් කල්පනා කරන්නේ ඉතිරිවී ඇත්තේ පෙර වූ නිවසට අයත් වූ කොටස් සමූහයක් මිස සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය
මිශ්‍ර සුන්බුන්
ගොඩක් පමණක් වශයෙන් නොවේ. ඔවුන්ගේ
කල්පනාවට හසු නොවන දේ නම් ඉතිරිවී
ඇති සුන් බුන් අතර ඇති ගඩොල්
ලී දඬු ආදිය වස්තු විද්‍යාඥයාගේ සැලසුමට අනුව අවකාශයේ එක්රැස් කිරීම නිසා, පෙර ඔවුන්
නිවසක් ලෙස පිළිගැනුණු රූපය නිර්මාණය වූ බවයි.
මැටිවලින්
නිර්මාණය වූ බෝනික්කෙකු ගැන සිතන්න, ශිල්පියාගේ මනසේ ඇඳුනු රූපයට
අනුව එය නිමවා ඇත, එය සැකසුමකි. අප එය හඳුනාගන්නේ
ශිල්පියා බලාපොරොත්තු
වූ ආකාරයට බෝනික්කෙකු ලෙසයි. මෙය බිම අත හැරුනොත් බෝනික්කා බිඳෙන
නමුත් කැබලිවලට කැඩුණු කොටස් වලත් කලින් මැටි බෝනික්කාගේ අඩංගු
වූ මැටි
ප්‍රමාණයේත් වෙනසක් නොවෙනු ඇත. කෙසේ වෙතත් දැන් දකින්නට ලැබෙන්නේ කොටස් වලට
බිඳුණු බෝනික්කෙකුය. මේ නිසා බෝනික්කා හිමි කුඩා දැරිය දුකට
පත්වී හඬා වැටෙනු ඇත, මැටි භාණ්ඩය කැඩුණු නිසා නොව ඇය ආදරයෙන්
බැඳී සිටි
බෝනික්කා බිඳුණු
නිසාවෙනි.
ශෝකය
ගෙන දෙන්නේ මෙසේ සංකල්පමය වශයෙන් සකස්කරගත් දේවල් දිරීමට හෝ විනාශයට පත් වීම නිසාය . මෙය දකින කෙනෙකු සියලු දේවල් අනිත්‍ය යයිද ඒ නිසා කැඩී බිඳී යා හැකි බවද මතක් කර දිය හැක. නමුත් සිදු වන්නේ භාණ්ඩය කැඩී බිඳී ගිය නමුත්
දරුවාගේ සිත්ගත් ඇගේ මනසේ තැන්පත්වී
තිබූ සංකල්පමය රූපය(නිමිත්ත) වෙනස් නොවී ඒ ලෙසම පැවතීම හා ඒ හරහා
බාහිර ඉතිරිව ඇති දේ සමග ඇයට තව දුරටත් අනුගත වීමට නොහැකි වීමත්ය. ඇයගේ දුකට හේතුව ඇය විසින්ම සංකල්පමය වශයෙන් සකස් කරගත් දෙය හා බැඳීමයි. සියලු සංස්කාරයන් (සකස්වීම්) දුක ගෙන
දෙති.
සබ්බේ සංඛාරා දුක්‌ඛාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
- ධම්මපදය -278
සකස් වූ දේවල ආත්මයක් නැත
අපගේ පුද්ගල සංකල්පයන් බාහිර ස්කන්ධ වලට පතිත කල විට අපට බාහිර ඇති බවට හැඟෙන පුද්ගලයින් හමුවේ. භෞතික ශරීර අංග යම්කිසි රටාවකට ඒකරාශී වී ඇති තැනක අපට පුද්ගලයෙකු හමුවේ.
පහත
රූප වලින් දැක්වෙන උදාහරණය මගින් මෙය තවදුරටත් පැහැදිලි වෙයි. පළමු සේයාරුවෙන් පෙනෙන ආකාරයට ලෑලි කොටස් බිම අහුරා ඇති විට විශේෂත්වයක් නොමැති වුවත් එම කොටස්ම දෙවැනි රූපයේ දැක්වෙන අකාරයට එක්තරා රටාවකට එක්රැස් කල විට 'මේසයක්' ලෙස දිස් වේ. මේ අකාරයටම කෙස්, ලොම්, නිය, දත්, සම් ආදී කොටස් එක්රැස් වී තිබෙන තැනක අප පුද්ගලයෙකු හඳුනා ගනිමු.
දහමේ දැක්වෙන ආකාරයට රූප එහි ස්වභාවික ආකාරයට නොදැකීම නිසා අප කෙලෙස් වශයෙන් ආත්මීය බවක් ආරෝපණය කරන අතර එම ආත්ම
සංකල්පයන් නිසා පෙනෙන රූප වල ස්වභාවික තත්වය ආවරණය වී යයි .
ඉහත
පළමු රූපයේ එක සමාන ලී කැබලි හතර කෙනෙකු සාමාන්‍යයෙන් 2"x 2" ලී දඬු හතරක් ලෙස හඳුනාගන්නා නමුත් මේසය තැනීමෙන් පසු එම ලී දඬු මේසයේ
කකුල් ලෙස හඳුන්වයි. මේසයට සාපේක්ෂව එහි එක් එක් කොටසටද කිසියම් ආත්මීය බවක් ආරෝපණය වන බවක් පෙනෙන්නට ඇත. මේ අනුව මේසයේ
කොටසක් (උදා. කකුලක්) බිඳී ගිය හොත් එය සිත් තැවුල් ගෙන ඒමට සමත් වේ, එය කෙනෙකුගේ මේසය වුනු බැවිනි. මේ අකාරයෙන්ම නොයෙක් අංග එක් රැස් වූ
තැන දකින මනුෂ්‍ය ශරීරයකද එම අංග වෙන් වශයෙන් හමු වූ විට ආත්මීය බවක් ආරෝපණය කොට ශරීරයේ කොටස්
ලෙසම හැඳින්වෙයි, ගැහැණියකගේ කොණ්ඩය, මිනිසෙකුගේ දත් ආදී වශයෙනි.
අපගේ
අවිද්‍යාව නිසා ඇත්ත
ඇති අකාරයෙන් නොදකින අප, බාහිරින් හමුවන දේ වරදවා හඳුනාගෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය කාරණා වලින්
පිරුණු ලෝකයක් ගොඩනගා ගන්නවා පමණක් නොව එම සාවද්‍ය තොරතුරු (නිමිති) වලින් අපගේ මනස පුරවා ගන්නා බවද දහමේ විස්තර කෙරෙයි.
මෙම නිමිති වලින් අපගේ මානසික හැඳිනීම් සහ සැකසීම් තීරණය කෙරෙන
බව දක්වා ඇති අතර අප ඊට අනුරූප සංකල්ප ඔස්සේ බාහිර ලෝකය නැවත ප්‍රතිනිර්මාණය කරගන්නා බවද පැහැදිලි කොට ඇත. සැකෙවින් දක්වන්නේ නම් අප අප විසින්ම ගොඩනගා ගන්නා ලෝකයක ජීවත් වන බව කියැවේ.
බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ ලෝකයත්, ලෝකයේ ඇතිවීමත්, එහි නැතිවීමත් , නැතිකිරීමේ මාර්ගයත්, මනසත් සංඥාත් සහිත බඹයක් පමණවූ මෙම භෞතික ශරීරය තුලින් පනවන බවයි (රෝහිතස්ස සුත්‍රය).
අප
ගොඩනගාගෙන ඇති බාහිර ලෝකය සත්‍ය වශයෙන්ම රඳා පවතින්නේ අපගේ ස්පර්ශ ආයතන මතය. මෙය
ත්‍රිමාන හොලොග්‍රැෆික ප්‍රක්ෂේපනයකට සම කල හැක. විශේෂත්වය නම් එක් ප්‍රක්ෂේපන
මෙවලමක් හෝ අකර්මන්‍ය වුවහොත් අවකාශයේ මැවී පෙනෙන හොලොග්රෆික ඡායාව බිඳ වැටීමයි. ඒ
අනුව විමසු විට කෙනෙකුට තමාගේ එක් ආයතනයක් හෝ පිළිසිඳ දැකීමට හැකිනම්, ඔහු හෝ ඇය සංඥා මත මවාගෙන සිටිනා ලෝකයත් ඒ
හා සමග බාහිරට ඔහුගේ ඇති නැමියාව හා ආශාවනුත් බිඳ වැටෙන බව වටහා ගත හැක . කාම
ලෝකයෙන් මිදීම පිණිස මෙසේ බාහිර ලෝකයේ මායාකාරී
බව හා අනාත්ම ස්වභාවය වටහා ගෙන එහි
නොඇලීම අත්‍යාවශ්‍ය වේ.
ත්‍රිමාන
හොලොග්‍රැෆික ප්‍රක්ෂේපනයක්
මේ
අතර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ බාහිර (ලෝකයේ)
අනාත්මභාවය පමණක් නොව අධ්‍යාත්මික අනාත්මභාවයද හඳුනා ගනීමයි. දැකීම්, ඇසීම්, ගඳ සුවඳ හා පහස විඳීම් ආදී ඉන්ද්‍රීය අත්දැකීම් අවස්ථාවට
ඉපිද නිරුද්ධ වන ධර්මතාවයන් බව ප්‍රකට වන විට, අත්දකින දෙයක් නොමතිවනවා සේම අත්වින්දින්නේකුද නොමැති බව
මනාව තහවුරු කර ගත හැක.
සබ්බේ ධම්මා අනත්තානි
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
- ධම්මපදය -279
දුකින්
මිදීමේ මාර්ගය
අපගේ
ආයතන නිත්‍ය නොවේ ඒවා හුදෙක් රූප දකින විට, ශබ්ද අසන විට, ගඳ සුවඳ දකින විට, රස පහස දැනෙන විට හා අරමුණු හඳුනාගන්නා විට ඉපදී ඒ හා සමගම නිරුද්ධ වී යන ධර්මතාවයන්ය. මෙම ක්‍රියාවලිය කැමරාවකින් ඡායාරුපයක් ගැනීම හා සමාන වන අතර
එම ඡායාව සිතින් නැවත උපදවා ගෙන සිතෙහිම වූ නිමිත්තක් හා ගලපාගෙන බාහිර පවතින්නක්
ලෙස තීරණය කිරීම රූපයක් හඳුනා ගැනීම ලෙස සැලකිය යුතුය. ජීවිතය යනු එක් ආයතනයකින්
තවත් ආයතනයකට මාරු
වෙමින් මුලික
වශයෙන් ආයතන අත්දැකීම් ඔස්සේ බැඳී පවතින්නකි.
ඉන්ද්‍රිය
අත්දැකීම් මතම ගොඩනැගුනු අපගේ වර්තමාන පැවැත්මට හේතු වී ඇත්තේ පුරාණ කර්මයන්ය. අප
තවදුරටත් ආයතන ඔස්සේ ලැබෙන විඳීම් වලට නතු වී බාහිර රූප ඇතුළුව අපම තනාගත් ලෝකය
සමග ඇලෙමින් ගැටෙමින් ජීවත් වන්නේ නම් සසර ගමන තව තවත් දිගු වනවා ඇත. සලායතන නිරෝධයම නිර්වාණය ලෙස බුදුන්වහන්සේ දේශනා කොට ඇත්තේ එබැවිනි.
වැදගත්ම
කාරණය නම් බාහිර ලෝකය පිළිබඳව සාවද්‍ය තීරණ ගැනීමට මුල් වන අවිද්‍යාව නැතහොත් මෝහය මෙකල
පිළිගන්නා ආකාරයට පවතින්නේ 'virtual
reality' තත්වයක්
පමණක් බව හඳුනා ගැනීමයි. එලෙස අප විසින්ම
තනාගත් ලෝකයක ජීවත්වෙමින් සැප දුක් විඳින අකාරය මනා ප්‍රඥාවෙන් වටහා ගත් විට බාහිර
ද්‍රව්‍ය හා සත්ව පුද්ගලයින් සමග
ගොඩනගාගෙන ඇති බැඳීම් මුදාහැර ඊට අනුරූපව ලඟා කර ගෙන ඇති දුක් කරදර සියල්ලද නිමා
කර ගැනීමට හැකි වනවා ඇත. ඉහත විමසීමට ලක් කල පරිදි සංස්කාරයන්ගේ සත්‍ය ස්වභාවය
අවබෝධ කර ගැනීමෙන් අවිද්‍යාව දුරු කර ගත හැකි වන ලෙස දෘෂ්ඨිය පිරිසිඳු කර ගත හැකි
පසුබිම විවෘත කර ගැනීමෙන් නිවන සාක්ශාත් කර ගැනීමේ මාර්ගයට එළඹිය හැක.
රූපය
එය සැබවින්ම පවතින ආකාරයට පිරිසිඳ දැකීමෙන් දැක්ම නිවැරදි කරගෙන අවිද්‍යාව දුරු කරගන්නා ආකාරය දහමේ මැනවින් පෙන්වා දෙයි. මාර්ගයේ ගමන් කරන්නාට මෙහිදී විශේෂයෙන් රූපය අනිත්‍ය, දුක්ඛ අනාත්ම බව විමසා බැලීමෙන් අනිමිත්ත, අප්පනිහිත හා සුඤ්ඤත ලෙස හඳුන්වා දී ඇති මිදීමේ දොරටු කරා ලඟා වීමට හැක.
No comments:
Post a Comment