Friday, February 2, 2018

පතී



පතී නික්ම ගොස් ඇති බව එදින අපගේ මිතුරෙකු කෙටි පණිවිඩයක් එවා තිබුනි. කලක සිට විදේස් රටක වාසය කරන බැවින්  පෙර මෙන් නිතර ඔහු හමු වීමට නොහැකි වුවත් ඔහුගේ නව  නිර්මාණයක් ගැන හෝ වෙනයම් තොරතුරක් දැන ගත් විට ඉඳ හිට දුරකතනයෙන් කථා කිරීමට මා පුරුදු වී සිටියෙමි.මට මුලින්ම පතී හඳුනා ගන්නට ලැබුනේ  1982 පමණ මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි අවධියේය. මා හැදෑරු වාස්තුවිද්‍යා පාඨමාලාවේ අවසාන වසරේ සමාජ විද්‍යා විෂය සඳහා ඉදිරිපත් කරන්නට තිබු නිබන්ධනය සඳහා ඔහුගේ සිනමා භාවිතය පිළිබඳව විමසීමක් කිරීමට මා තීරණය කර තිබුණු බැවිනි. මා එය හැඳින්වුයේ Revolutionary Sinhala Cinema යනුවෙනුයිග්ලොබ් ප්‍රින්ටස්හි මා මිත්‍ර කෝසල හරහා ඇතිකරගත් හැඳුනුම් කම මිත්‍රත්වයක් කරා වර්ධනය වුයේ පසු කලෙක ඔහුගේ මහනුවර නිවස නිර්මාණය කරගැනීම සඳහා මා හමුවුණු පසුවයි.

වස්තු විද්‍යාඥයින් වශයෙන් අප විශ්වාස කරන දෙයක් නම් සේවාදායකයා ට වඩාත්ම සමීප වන වෘත්තිය වාස්තුවිද්‍යා වෘත්තිය වන බවකි. අප අතර ඇතිවූ සමීපතාව එයට හොඳ නිදසුනකි. ඒ කෙසේ වෙතත් පුද්ගලයෙකු වශයෙන් ඔහු තුල තිබු නිහතමානී බවත් මා ඔහුගේ අදහස් හා නිර්මාණ ප්‍රිය කල නිසාත් අප අතර සැලකියයුතු සමීප කමක් ගොඩ නැගුණි .


පතීගේ සිනමාව අද්‍යයන කල අවධිය ඉතා රසවත් විය. එහිදී  ඇසුරු කරන්නට ලැබුණු චරිත සහ ශිෂ්‍යයෙකු වශයෙන් මා ඔවුන්ගෙන් ඉගෙනගත් දේ අපමණය, මෙහිදී විශේෂයෙන් සිහිපත් වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් අදුරු තුමා ගෙන් ලැබුණු ගුරු හරු කම්ය, ඔහු පතිරාජගේ කෘති මහත්සේ ඇලුම් කල අයෙකි. මේ අතර පතිරාජගේ සිනමා භාවිතාව හොඳින් වටහා ගෙන සිටි සරසවි ඇදුරන් වන සෝමරත්න බාලසුරිය, ජයදේව උයන්ගොඩ, ගාමිණී හත්තොට්ටුවේගම ආදීන් මෙන්ම විචාරක ලෙස්ලි බොතේජු ,ගුණසිරි සිල්වා ආදීන් ගේ ඇසුරද සහිපත් කල යුතුය. ඔහුගේ සුවිශේෂ චිත්‍රපට වන පාරදිගේ සහ සොල්දාදු උන්නැහේ තිරගතවීමට සමගාමිව පැවති සම්මන්ත්‍රණ හා ඒවාහිදී එම නිර්මාණ වෙනුවෙන් හඬ නැගු මහ ඇදුරු ගම්ලත් , සුනන්ද මහේන්ද්‍ර , ධම්ම ජාගොඩ අදීන් කී දේද නිතර මතකයට නැගේ . එකල තැනුණු බොහෝ චිත්‍රපට වලට තම විචාර හරහා දිගට හරහට පහරදුන් චින්තන ජයසේන පවා පතීගේ නිර්මාණ වලට ගරු කල බවක් මතකයට නැගේ.

ඉන් කලකට පසුව පතීගේ නිවස නිර්මාණය කරන අවධියේ මා මුලින් වෘතිකයෙකු ලෙසත් පසුව මිතුරෙකු ලෙසත් ගොඩනගාගත් ඇසුර වඩාත් රසවත් වුවා යයි මට හැඟේ. නිවස නිර්මාණය පිණිස ඔහුගේ අදහස් දැනගැනීම සඳහා නොයෙක් අවස්ථා වල හමු වූ විට අනෙකුත් සේවාදායකයන් සමග මෙන් නොව පොදුවේ කලාව, දේශපාලනය, නිර්මාණ  ආදී දේ කතා කළා මිස නිවස කෙසේ විය යුතුද යන්න පිළිබඳව ඔහු කිසි විටකත් සෘජුව  අදහස් ප්‍රකාශ නොකලේය. එසේ වුවද එම සාරවත් කතාබහ අතරේ ඔහු බලාපොරොත්තු වන්නේ කෙබඳු නිවසක්ද යන්න ටිකෙන් ටික මා සිතට කාන්දු කල බවක් පෙනෙන්නට තිබුණි. 
දර්ශන තලවලදී  හා ඉන් පිටතදී  නළුනිළියන්ට සහ  කාර්මික ශිල්පීන්ට උපදෙස් දීමේදීද එවැනි පිළිවෙතක් අනුගමනය කල බව මා පසුව දැක ගතිමි.

පතී මහනුවර ප්‍රිම්රෝසේ හිල්හි  මනරම් දසුන් සහිත කඳුකර වටපිටාවක ඇති ඉඩමක් නිවස තැනීම සඳහා තෝරා ගෙන තිබීම නිර්මාණකරුවකු වශයෙන් මා හට මහත් රුකුලක් විය. කටු සටහන් කීපයක් සලකා බැලීමෙන් පසුව එක් යෝජනාවකට 'මේක හොඳයි නේද' අසමින් ක්ෂණිකව ප්‍රතිචාරදැක්වුවේ පෙර පුහුනුවක් නොලැබුවද දල සටහනක් තුලින් ප්‍රකාශිත දේ වටහා ගැනීමට ඔහුට හැකියාව තිබුණු බැවින් බව මම විශ්වාශ කරමි. බොහෝ සවස් යාම වල මීවිත තොලගාමින් ඇති වුනු මෙම කතා බහ අතරතුර ඔහු නිතර ඇසුරු කල නළුවන් ඇතුළු කළා කරුවන් සහ නොයෙක් වෘතිකයන් හඳුනාගන්නට ලැබීමද විශේෂයෙන් සඳහන් කල යුතුය. සිනමාවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබු ඔහුට ලැබුණු උසස් ගනයේ චිත්‍රපට නැරඹීමට මටද අවස්ථාව ලැබුනා මෙන්ම ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව කෙරුණු සාකච්චා වලට එක්වීමටද හැකිවිය. 

නුතන වාදයේ පුරෝගාමියා ලෙස සැලකෙන  ලෝ ප්‍රකට වාස්තුවිද්‍යාඥ ෆ්‍රෑන්ක් ලොයිඩ් යිට්ගේ අදහස වී තිබුනේ වාස්තුවිද්‍යාඥයෙකු කිසි විටකත් සේවාදායකයා සමග හිඳ මී විත පානය නොකළ යුතු බවයි. සමහරවිට මා කලින් සඳහන් කල පරිදි සමීප ඇසුරක් දක්වා වර්ධනය වීමේදී ගනුදෙනු විසඳා ගැනීමේ අවදානම ගැන ඔහු ලැබූ අත්දැකීම් මත විය යුතුය. එය සාමාන්‍යයෙන්  පිළිගත හැකි කාරණයක් වුවද මෙම නිවස නිර්මාණය කරන අතරතුරේ පතී සමග ගතකල සොඳුරු හෝරාවන් ගැන සලකා බැලීමේදී එවැනි තත්වයක් ගැන කල්පනා කිරීමට කිසිසේත් අවශ්‍ය නොවුණු බව මම සිතමි. සේවාව සඳහා මුදල් අයකර ගැනීමට බලාපොරොත්තුවක් නොතිබුණද ඔහු යම්කිසි  මුදලක් බලෙන්ම මා අත තැබුවේ එකල මා සමග එක්ව සිටි අතුල සහ සුදත් මිතුරන් දෙදෙනාද ඒ සඳහා වෙහෙසුණු බැවිනි. 

ධනවතෙකු නොවූ පතී යාන්තමින් නිමකරගත් තම නිවසේ ඒ දිනවල ඔහු ගතකල කාර්යබහුල දිවිය අනුව එතරම් කාලයක් ගත කරන්නට නොලැබෙන්නට ඇති වුවද ඔහු තම අවසාන කාලයේ දයාබර බිරිඳ මාලිනිගේ රැකවරනය ලබමින් එහි ජීවත් විය. රෝග තත්වය නිසා පිඩා වින්දද මීට මාස කීපයකට පෙර මා ඔහු ඇමතු විට ඇතිවූ කතා බහේදී ඒ පිලිබදව සතුටින් සිටින බවක් පෙනෙන්නට විය. අපගේ මෙම ඇසුර නිසා ඔහු වඩාත් සතුටුවූ තවත් කරුණක් වුයේ තම පුත් මිලින්ද වාස්තුවිද්‍යාව තම වෘත්තිය ලෙස තෝරාගැනීමත් පසුව එහිලා විශේෂ දස්කම් දක්වීමත්ය.  

No comments:

Post a Comment

ASU

  ASU is the story about a young mother's struggle to choose between humanity and love and her selfless sacrifice, a moving story direct...