‘ශාලාව ගිලගත් දැඩි නිහඬතාවයකි. නොනිවූ විදුලිපහන් වල ආලෝකය නිසා නරඹන්නන් හට ඔවුනොවුන්
සිටිනා වට පිටාව පිලිබඳ මනා හැඟීමක් ඇති බව පෙනීයයි .
නළු නිලියන් එක සමාන කළු ඇඳුමින් සැරසී රංගනයේ යෙදෙති. ඔවුන් සෘජුවම නරඹන්නන් අමතනවාක් මෙනි. දෙබස් කියවනවාට වඩා හැඟෙන්නේ උධෘත පාඨ ප්‍රකාශ කරන්නාක් මෙනි.
ඔවුන්ගේ භාව ප්‍රකාශනයේ
විපරිත බවක් පෙන්නුම් කරයි, ඇතැම්
ශෝකජනක දෙබස් කියවෙන විට පවා හාස්‍ය ජනක බවක් නිරුපනය වෙයි.
අතරින් පතර ඉදිරිපත් කෙරෙන සංගීත ඛණ්ඩ සහ රංගනයන්ගෙන් නාට්‍යනුසාරී බවට
බාධා ඇතිවෙන්නාක් මෙනි.
අඳුරු ප්‍රේක්ෂකාගාරයක් තුල තම සිත් සතන් වේදිකාව වෙත
යොමු කොට ගෙන රස විඳිනා නරඹන්නන් කැලක් වෙනුවට ඉන් දුරස්ථව හිඳිමින් එහි රඟ දැක්වෙන දෑ නරඹන පිරිසක් දැක ගත
හැක’
මේ ජර්මන් ජාතික නාට්‍යකරු
බර්ටෝල් බ්‍රෙච් (Bertolt Brecht) විසින් (Epic
Theatre) නාට්‍ය ආකෘතිය ඔස්සේ හඳුන්වාදුන් තදාත්ම විඝටන (Alienation
Effects) ශිල්ප ක්‍රම උපයෝගීකරගෙන නිපදවුණු නාට්‍යයක් රඟ
දැක්වූ අකාරයයි. එපික් තියටර් යනු විසි වන සිය වසේ
මුල් භාගයේ පමණ නාට්‍ය ක්ෂේත්‍රයේ ඇතිවුණු ප්‍රවණතාවයකි. එය එකල පැවති දේශපාලනික වාතාවරණයට ප්‍රතිචාර ලෙස බර්ටෝල් බ්‍රෙච් වැනි නාට්‍යකරුවන් හඳුන්වාදුන් සාර්ථක නාට්‍ය ක්‍රමයකි.
ඒ නම් භාවාතිශය, යථාර්ථවාදය හා ස්වාභාවවාදය නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටව දක්නට ලැබුණු අවදියයි. මෙම
නාට්‍ය වල තිබූ පටු දර්ශනය, අති
උද්වේගකාරී හා ප්‍රයෝගකාරී කතාන්තර බ්‍රෙච් විසින්
හෙලා දකින ලදී. ඔහු ඉදිරිපත් කල ශෛලිය ස්ටැනිස්ලව්ස්කිගේ
යථාර්තවාදී නාට්‍ය වලට සෘජු විකල්පයක්
විය. යථාර්ථවාදී නාට්‍ය තුලින් තාත්වික ජීවන අත්දැකීම් වේදිකාව මත ප්‍රතිනිර්මාණය
කල බව දකින්නට ලැබුණි. මුලික වශයෙන් මෙම නාට්‍ය ප්‍රේක්ෂකයාට තම ජීවන
ගැටළු තාවකාලිකව අමතක කර පලායාම (escapism) සඳහා අත්වැල් සැපයීය. මෙම නාට්‍ය ප්‍රේක්ෂකයාව සිතීම සඳහා පෙළඹවීමට උත්සාහ නොකෙරීම බ්‍රෙච් විසින් විශාල නාස්තියක් ලෙස බැහැර
කළේය. වේදිකාවේ ඉදිරිපත් කරන දේ පිළිගනිමින් හුදෙක් රස විඳීම වෙනුවට ඔවුන් දකින අහන
දේ ප්‍රශ්න කිරීම සහ අභියෝග කිරීම සඳහා යොමු කිරීම උදෙසා තම නව නාට්‍ය ශෛලය හඳුන්වා දුන් බව බ්‍රෙච් පවසයි. දැඩි මාක්ස්වාදී
අදහස් දැරුවෙකු වූ බ්‍රෙච්ගේ නාට්‍ය තුලින් බොහෝවිට සමාජයික හෝ දේශපාලනමය පණිවුඩ ඉදිරිපත් කෙරිණි .
තදාත්ම විඝටනය (Alienation Effects)
තාත්වික නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා
තමාගේ ජීවිතය ගැන කල්පනා කිරීමට යොමු වනවා වෙනුවට ඒවායේ චරිතවලට සමවැදී භාවාත්මකව බැඳෙන ප්‍රවණතාවක් ඇති බව බ්‍රෙච් පෙන්වා දුන්නේය. ප්‍රේක්ෂකයා නරඹන දෙය ගැන විමසිලිමත්ව,
විචාරාත්මකව සිතීමට පෙළඹවීම සඳහා බ්‍රෙච්
ඔහුගේ නාට්‍ය වලට තදාත්ම විඝටන ශිල්ප ක්‍රම
උපයෝගී කර ගන්නා ලදී. ඉහත දැක්වූ උපායනට අමතරව දර්ශනයක් රඟ දක්වන අතරතුර අනපේක්ෂිත සිදුවීමක් ඇති කිරීම මේ සඳහා ඔහු යොදාගත් තවත් විශේෂ උපක්‍රමයකි.
නාට්‍යයේ ගලායාමට බාධා පැමිණවීමෙන් ප්‍රේක්ෂකයා
එහි කථාව,චරිත හා භාවයන් තුල මුලාවට පත්වීම වැළැක්වීම එහි අරමුණයි. මෙයින් ඔවුන්ව සිතීමට පොළඹවයි, මායාවෙන් අවදි කිරීමට දුන් අතුල් පහරක් වැනිය.
තදාත්ම විඝටන උපායන්හි අදහස නරඹන්නාට නිරතුරුවම තමන් ප්‍රේක්ෂකාගාරයක
සිටිනවාය යන හැඟීම සිහි කර දීමයි. මේ උපක්‍රම නිසා ප්‍රේක්ෂකයා මුලා කරන මායාවෙන් ඔහු මුදවා කථාවේ හෝ චරිතවල අතරමංවීම වලක්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. මෙහිදී ප්‍රේක්ෂකයාට සිහි කර දෙන්නේ චරිත විසින් යම් යම් අදහස් සහ තත්වයන් ප්‍රකාශ කරන බවක් පමණි.
බ්‍රෙච් විසින් ප්‍රේක්ෂකයා යනු හුදෙක් නරඹන්නෙකු පමණක් හැටියට හඳුන්වන ලදී. ඔහුගේ අවධානය වුයේ පෞද්ගලික චරිත වේදිකාවේ ඉදිරිපත් කිරීම නොව මුළු සමාජය නියෝජනය කිරීමයි. ඔහු විශ්වාස කල අන්දමට නළුවකුගේ රඟපෑම විය යුත්තේ සිදුවූ දේ නිරූපනය කිරීමයි. මේ සියලු උපක්‍රම මගින් ඔහු බලාපොරොත්තුවුයේ නරඹන්නන් නාට්‍යය හා එහි
චරිත සමග ඒකාත්මික වීම වැලක්වීමයි . ස්ටැනිස්ලව්ස්කිගේ
නාට්‍යවල මෙන් නළුවන් චරිතවලට සමවැදීම හෝ
එම චරිත තාත්වික ලෙස රඟපෑම බ්‍රෙච් ප්‍රතික්ෂේප කළේය.
බුදුදහමේ අනත්ත සංකල්පය
බ්‍රෙච්ගේ නාට්‍ය ශෛලිය හා උපක්‍රම විමසීම තුලින් බුදුන්වහන්සේ විසින් දේශනා කල අනත්ත (අනාත්ම(
සංකල්පය වටහා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගත හැක. අනත්ත යනු බුදුන් විසින් දේශනා කල බොහෝ සුවිශේෂවූ සහ විප්ලවකාරී සංකල්පයයි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස බුදු දහමේ දැක්වෙන ත්‍රිලක්ෂණය බුදුන් වහන්සේ විසින් විමුක්ති මුඛ ලෙස හඳුන්වා ඇත. හේතු ඵල ධර්මයනට යටත් වන බැවින් ලෝකයේ සියලු දේ , සත්ව පුද්ගල ආත්ම ලෙස ගැනෙන දේද ඇතුළුව, අනිත්‍ය
වන නිසාම පිහිටා සිටිමකට ඉඩක් නොමැති හෙයින් දුකද වෙයි. යමක් දුක නම් එය ආත්ම (අත්ත) ලෙස සැලකිය නොහැක.
අවිද්‍යාව හෙවත් මුලාව
මෙම ධර්මතාවය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා පුජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද තෙරුන්වහන්සේ විසින් සිනමා අත්දැකීම උපයෝගී කරගනිමින් ඉදිරිපත් කල නිදර්ශනය මෙහි ලා වැදගත් වනු ඇත. සිනමාව යනු නරඹන්නා තිරයේ දිගහැරෙන කතාන්තරය හා චරිත වලට ඇද බැඳ තබා ගැනීමට හැකි මායාවක් වැනිය. තිරයේ දර්ශනය වන්නේ ඒ මත ප්‍රක්ෂේපනය වෙන ආලෝක ධාරා මගින් උපදවන චලන රුප පෙළක් වුවත් එම යථාර්ථය නොදකින ප්‍රේක්ෂකයා ඒවා සත්‍ය සිදුවීම් ලෙස ගෙන එහි බැඳෙයි. උදාහරණයක් ලෙස ක්‍රියාදාම චිත්‍රපටයක් නරඹනවිට එහි දකින්නට ලැබෙන ත්‍රාසජනක අවස්ථා, වාහන පෙරලීම්, ගොඩනැගිලි ගිනි ගැනීම් ආදිය නිසා ප්‍රේක්ෂකයා කම්පනයටත්, බියටත්, සංවේගයටත් පත්වේ. සටන් ජවනිකා වල තමා කැමති චරිතය පසුබෑමට ලක්වන විට දුක්වේ. ඒ තම මානසික සංකල්ප තිරයේ දිග හැරෙන සිදුවීම් හා චරිත වෙත ආරෝපණය කරමින් ප්‍රේක්ෂකයා ඒ හා ආත්මියව බැඳෙන නිසාවෙනි. ඔවුන් චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමේදී කෙරුණු රඟපෑම්, වෙස් ගැන්වීම්, යොදාගත් තාක්ෂණික ප්‍රයෝග හා සංස්කරණ ආදිය ගැන දැන නොසිටි බැවිනි. එහෙත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාද එම චිත්‍රපටය නරඹමින් සිටියහොත් ඔහුට එවැනි අසාමාන්‍ය සතුටක්, දුකක් හෝ කම්පනයක් ඇති නොවේ. හේතුව ඔහුගේ මෙහෙයුම යටතේ කෙරුණු එම නිර්මාණය පසුබිමෙහි සිදුකල සියලු වෙස්ගන්වීම්, රඟපෑම්, තාක්ෂණික ප්‍රයෝග, සංස්කරණයන් ආදිය ගැන ඔහු හොඳින් දැන සිටීමයි. ගිනිගන්නේ සත්‍ය ලෙස පෙනුණු ගොඩනැගිලි වෙනුවට කාඩ්බෝඩ් ආකෘති බවද අනතුරට ලක්වන්නේ සෙල්ලම් කාර් බවද ඔහු දන්නා බැවිනි. යම් අකාරයකින් ප්‍රේක්ෂකයාද තිරය ඉදිරියේ තමා මුලාවට පත්වී ඇති ආකාරය අවබෝධ කරගත හොත් ත්‍රාසයට හා භීතියට පත් වනවා වෙනුවට හාස්‍යට පත් වෙනු ඇත.
දුක හා දුකට හේතුව.
දකින අහන ආග්‍රහණය කරන රස පහස ලබන දේ ලෙස උපදින උපාදානසක්න්ධ කෙරෙහි ඇති නිත්‍ය සංඥාව නිසා ඉහත සාකච්ඡා
කල භාවාත්මක බැඳීම් ගොඩනැගෙන ආකාරය දහමේ පෙන්වා දී ඇත. ඒ අනුව අප ඇසුරු
කරන දෙමව්පියන්, සහකරු සහකාරියන්, දුදරුවන්, ගේ දොර, රථ වාහන ආදී සියල්ල අප ආත්මියව බැඳෙන උපාදානස්කන්ධ වලට
අයත්වෙති. අනිත්‍ය විපරිණාම දහමට අනුව බහිරව විද්‍යමාන වන දේ නිරතුරුව ජරාවට , විනාශයට හා මරණයට යටත්ය. එහෙත් අපට
හමුවන්නේ දිරාපත්වන ද්‍රව්‍ය සහ මහලු බවට හා මරණයට පත්වන දෙමව්පියන්, සහකරු සහකාරියන්, දුදරුවන් ආදියයි. ඒ සියල්ල අප විසින්ම ගොඩනගාගත් උපාදානස්කන්ධ බැවිනි. බාහිර පවතින කය ජරාවට, ව්‍යාධියට හෝ
මරණයට පත්වන විට අප අපට ප්‍රිය මනාප පුද්ගලයින් ලෙඩවීම හෝ මරණයට පත්වීම නිසා දුකට පත්වෙමු. දුක්ඛ සත්‍ය පිලිබඳ විස්තර කල
බුදුන්වහන්සේ අවසානයට, සංඛිත්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛා
යනුවෙන් දේශනා කල සේක.
අප ලෝකය ලෙස ගොඩ නගා ගෙන ඇති අම්මා තාත්තා, ස්වාමිපුරුෂයා බිරිඳ, දරුවන් ආදී පුද්ගලභාවයෙන් හමුවන පිරිස (උපාදානස්කන්ධ) අප ඔවුන් සොයා යන තාක් රැස්වෙයි, ඇසුරු කරනතාක් පවතියි, වෙන්වූවොත් දුක ගෙන එයි. ගං වතුරක් වැනි අනපේක්ෂිත
ඛේදවාචකයකින් ඒ අය විනාශයට පත් වුවහොත් අපට දුක ඇතිවෙයි,
නමුත් අප නොදන්නා පුද්ගලයින් එසේ විනාශයට පත් වූවිට අපට දුක ඇති
නොවේ. බුදුන්වහන්සේ පෙන්වාදුන්නේ අපගේ මෙවන් පරස්පර ප්‍රතික්‍රියා වලට හේතුව උපාදානයට මුල්වන ඡන්ද රාගය (තණ්හාව) බවයි. බුදුදහමේ දුකට හේතුව ලෙස අර්ථ දැක්වුණු තණ්හාව යනු බාහිර වස්තුන් වලට අපගේ බැඳීම් (අම්මා, තාත්තා, ස්වාමිපුරුෂයා
බිරිඳ , දරුවන්
ආදී වූ ආත්ම සංඥා ) අලවන මැලියමක් වැනිය .
ආත්ම සංඥාව
සිනමා තිරය ආත්ම නොවේ, ඒ මත පතිත වන ආලෝක කදම්බ නිසා තැනෙන රුප සටහන්ද ආත්ම නොවේ නමුත් නරඹන්නා එය වටහා නොගෙන තිරයේ මැවෙන චලන චිත්‍ර හා ඊට සමගාමීව ඇසෙන ශබ්ද ඔස්සේ මතු වන කතාන්තරය සත්‍ය සිදුවීම් ලෙස ගෙන ඊට බැඳෙන බවක් පෙනෙන්නට ඇත. මෙම අත්දැකීමටත් අප සැබෑවටම අත්දකින දේත් අතර කිසිදු වෙනසක් නැතැයි දක්වා ඇති අතර අපගේ මෝහය නිසා සිතෙන්ම ඇතිකරගන්නා ආත්ම සංඥා (අම්මා, තාත්තා, දරුවා ආදී) අනුව ඒවා පුද්ගලභාවයෙන් ග්‍රහණය කර ගන්න බවත් පෙන්වා දෙති. සිනමා ශාලාවෙදී මෙන් අපගේ සිතේ උපදින අදහස් බාහිර රුප වලට පතිත කරමින් අපි ඒවා සත්‍ය වශයෙන් ඇති දේ ලෙස මුලාවට පත්වෙමු. එනිසාම දුකද උපදවා ගනිමු.
ආත්ම සංඥාව තමා පැත්තට යොමු කල විට මම, මගේ ආත්මය ලෙස හඳුනා ගැනේ . ආත්ම
ලෙස මා හඳුනා ගත් පසු ඊට සමගාමීව බාහිර ඇති මගේ අම්මා, මගේ
සහකාරිය, මගේ ගෙදර , ආගම ,
රට අදී ලෙස ආත්මීයව හඳුනා ගනියි. බුදු
දහමට අනුව ලෝභ, ද්වේශ, මෝහ ආදී
කෙලෙස් වලින් පිරි ආත්ම මායාව මෙසේ මිනිසා තමා මෙන්ම අනුන් කෙරෙහිද උපදවගන්නා ශෝකය
දුක හා දෝමනස්සයට හේතු වේ.
කරලියෙන් විමුක්ති මගට
බර්ටෝල් බ්‍රෙච්ට අනුව වේදිකා නාට්‍ය තුලින් අවධි කල යුත්තේ ප්‍රේක්ෂකයාගේ
හැඟීම් නොව තර්කයයි. වින්දනය ලබා දෙන අතරම එය සමාජ විපර්යාසයක් සඳහා ඔවුන්ව උපදේශාත්මකව යොමු කල යුතු බව ඔහු විශ්වාස කළේය. නාට්‍ය කලාවේ විප්ලවයක් සිදු කල බ්‍රෙච් ලෞකික සමාජයට
බලපාන බරපතල ගැටළු දෙස විමර්ශනාත්මකව බැලීම සඳහා එය මෙවලමක් කර ගත් සුවිශේෂ
නාට්‍ය කරුවෙකි.
මේ අතර බුදුන් වහන්සේ දුටුවේ අවිද්‍යා අඳුරේ ගිලී තණ්හා දැලේ පැටලී අසුභ දෙය සුභ ලෙසද , අනිත්‍ය දෙය නිත්‍ය ලෙසද, දුක්
වූ දේ සැප ලෙසද අනාත්ම වූ දේ ආත්ම ලෙසද ගනිමින් මිනිසා දුකෙහිම වෙලී සිටින අකාරයයි. තමා විසින්ම දැක ගැනීමෙන් පසු උන්වහන්සේ ලෝකයාට පෙන්වාදුන්නේ ඇත්ත ඇති හැටියට නොදැකීම නිසා
ඔවුන් ආත්ම සඥා වලට ඇලී තමතමන් විසින්ම දුක නිපදවාගෙන විඳින අකාරයයි.
දුක නිමා කිරීමේ මග
No comments:
Post a Comment